දේශභූමියෙන් ඔබ්බෙහි තොරතුරු එක්රැස් කිරීම ලොකු කුඩා සෑම රාජ්‍යක්ම පාහේ සිය ආණ්ඩුකරණයේ මූලිකාංගයක් කරගෙන තිබේ. රැස්කරගන්නා තොරතුරු සංවිධිත පද්ධතියක් ලෙස ගොඩනැගීමත් ඒ ඇසුරෙන් ඇගයීම් කිරීමත් අභ්‍යන්තර හා භාහිර සතුරන් හඳුනාගැනීම සඳහා යෝධ සවියකි. සී.අයි.ඒ යනු එසේ ලොව සියලු රාජ්‍ය දෙස සිය විමසුම් ඇස හෙලාගෙන සිටින ප්‍රමුඛ පෙළේ බුද්ධි සේවයයි. ඇමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය යන නමින් ක්‍රියාත්මක ඊට සේවය කරන, හඳුනාගත් නියෝජිතයන් සංඛ්‍යාවට වඩා නිල නොවන නියෝජිතයෝ අසීමිතය. ලොව බොහෝ රටවල වූ දේශපාලන පෙරලි, කැරැලි, විප්ලව හා ප්‍රතිවිප්ලව මෙන්ම සිවිල් යුද්ධ පසුපසින් මෙන්ම ඉදිරිපසින් ද සී.අයි.ඒ ක්‍රියාන්විත ප්‍රකටය. කුප්‍රකටය. මතු දැක්වෙන්නේ එහි අසංක්ෂිප්ත කතාවය.
ඇමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය ආරම්භ වූයේ 1947 දී හැරී ටෘමන් ජනපතිවරයාගේ පාලන කාලයේදීය. එහෙත් ඊට වසරකවත් ආයු තිබුණේ නැත. ඒ, එය ස්ථාපිත කිරීමෙන් දින 337කට පසු 1942 ජුනි 13 වැනිදා එහි නාමය උපායමාර්ගික සේවා කාර්යාලය (ඕ.එස්.එස්) බවට පත්වූ බැවිනි. වසර තුනකුත් මාස තුනකට පසුව ඕ.එස්.එස් නාමය ප්‍රතිනාමකරණය වූයේ එස්.එස්.යූ හෙවත් උපායමාර්ගික සේවා ඒකකය හැටියටය. ඒ හරියටම 1945 ඔක්තෝම්බර් 1 වැනිදාය. එහෙත් එස්.එස්.යූ ඒකකය පැවැතියේ මාස හතකි. 1946 ජනවාරියේදී එය නැවතත් සී.අයි.ජී බවට පත්විය. එහි අරුත මධ්‍යම බුද්ධි කණ්ඩායමයි. මේ නාමකරණ විකාශනය අවසන් වූයේ 1947 සැප්තැම්බර් 18 වැනිදාය. වසර 73ක් පුරා අදටත් බලවත්ව පවතින සී.අයි.ඒ නාමය ලැබුණේ එදිනය.
1947 සැප්තැම්බර් 18 වැනිදා දී ජාතික ආරක්ෂක පනතින් සංයුක්ත ලෙස ස්ථාපිත කළ ද ඒ වනවිටත් ඊට වසර හයක ඉතිහාසයක් තිබිණ. ඒ 1941 ජූලි 11 ස්ථාපිත කළ තොරතුරු සම්බන්ධීකරණ කාර්යාලය හෙවත් සී.ඕ.අයි හැටියටය. දෙවැනි ලෝක යුද්ධය ආරම්භය සමග ඇමෙරිකාවට තිබූ තොරතුරු ගවේෂණය සඳහා මූලික ආයතනයක අඩුපාඩුව එයින් සැපිරිණි. ඒ වනතෙක් ඇමෙරිකාව සිය යුද, නාවික හමුදා හා එෆ්.බී.අයි හරහා තොරතුරු සෙව්වේ නිසි සම්බන්ධීකරණයක් හෝ ප්‍රමුඛ මාර්ගෝපදේශයක් නොමැතිවය. මේ නිසා ආණ්ඩුකරණයට අවැසි තොරතුරු ඇගයුමක් නිසි පරිදි නොවීය. ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක මූල්‍ය ආයෝජනයක් හා 600ක කාර්ය මණ්ඩලයක් සම්පාදනය කරමින් ඊට පදනම දැමුවේ ජනපති ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට්ය.
රූස්වෙල්ට් සේනාධිනායකයා වුවද සැබැවින්ම එවැන්නක් සඳහා වූ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ පළමු ලෝක යුද සමයේ සම්මානලාභී යුද සෙන්පතියකු වූ කර්නල් විලියම් ඩොනවන් විසිනි. රූස්වෙල්ට්ට අවශ්‍ය වූයේ මිලිටරියෙන් ද ස්වාධීන වූ ඒකකයකින් තමන්ටම කියා තොරතුරු ගැනීමටය. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හා සන්නද්ධ හමුදා මගින් තොරතුරු ඒකරාශි කළ ද රූස්වෙල්ට්ට අවශ්‍ය වූයේ ධවල මන්දිරයටම වගකියන වෙනම ඒකකයකි. ජාතික ආරක්ෂාවටත් ඔබ්බෙන් වූ තොරතුරු ඒකරාශි කර විශ්ලේෂණයට ජනාධිපති අණ කළේ එහෙයිනි. පසු කලෙක ආරක්ෂක විශ්ලේෂකයන් පැවසුවේ විලියම් ඩොනවන් වනාහි ජනපති රූස්වෙල්ට්ටම ගැලපෙන තෝරාගැනීමක් වූ බවය. කොටින්ම ඕ.එස්.එස් ඒකකය මු`ඵමනින්ම ඩොනවන්ගේ ප්‍රක්ෂේපණයක් වූ බවය. සී.අයි.ඒ වෙබ් අඩවියම පවසන ආකාරයට ජනපති රූස්වෙල්ට් තම තොරතුරු සම්බන්ධීකාරක හැටියට ඩොනවන් තෝරාගනිමින් ඇමෙරිකාවට ඇති සතුරු බලපෑම් වලක්වාලීමට කවරක් වුව කරන්නෙකු තෝරාගත් බවය.
මතු සම්බන්ධයි..