පානදුර මුහුදේ ඊයේ (12) පස්වරුවේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් ඉන් 12 දෙනෙකුගේම දිවි බේරාගැනීමට හැකි වූ බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසනවා.
කෙසේ වෙතත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව තිබෙන බවයි පැවසෙන්නේ.
අතුරුදන්ව ඇත්තේ පානදුර කෙසෙල්වත්ත ගැමුණු මාවතේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයකු බවට හදුනාගෙන තිබෙනවා.
අතුරුදන් තරුණයා සිය වැඩිමහල් සොහොයුරා හා තවත් මිතුරන් තිදෙනෙකු සමග පානදුර මුහුදේ දිරාපත්ව ගිලී ඇති පැරණි නැවට වම් පසින් දිය නාමින් සිට තිබෙන අතර ඔවුන් සමග ඇඹිලිපිටියේ සිට පැමිණි 8 දෙනෙකු ද සිට තිබෙන බවයි පැවසෙන්නේ.
කෙසේ නමුත් එක්වරම ඔවුන් සියලු දෙනා රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.
ඔවුන් උදව් ඉල්ලා කෑ ගැසීමත් සමග ක්‍රියාත්මක වූ නාවික සහ පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් දියේ ගසාගෙන යමින් සිටි 12 දෙනෙකුම බේරාගැනීමට සමත්ව තිබුණා.
බේරාගෙන ඇති සියලුම දෙනා වයස අවුරුදු 20ට අඩු තරුණයන් වන අතර, බේරාගත් එක් තරුණයකු 1990 සුවසැරිය ගෙන්වා රෝහල්ගත බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසා සිටියා.
ඊයේ දින මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් මුහුදේ රතු ධජ ප්‍රදර්ශනය කර අවවාද නිකුත් කර තිබූ බවද එම ජීවිත ආරක්ෂක නිලධාරීන් සඳහන් කළා.
ජීවිත බේරාගැනීමට එක් වූ ජීවිත ආරක්ෂක නිලධාරීන් ද ගිලී ඇති නැවේ ගැටී තුවාල ලබා ඇති බවට වාර්තා වනවා.