ජීවිත 35,000කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යවසනය සිදුවි අදට (26) වසර 20ක් සපිරෙනවා.
අතුරුදන්වූ තවත් සැලකිය යුතු පිරිසක් පිළිබද තොරතුරු වාර්තා නොවූ අතර 516,150 දෙනෙකුට මේ ව්‍යසනය හේතුවෙන් උන්හිටිතැන් අහිමිවුණා.
2004 දෙසැම්බර් 26 වැනිදා ඉරිදා අලුයම 6.58 ට හටගත් භූමිකම්පාව හේතු කොටගෙන මහ සයුර ගොඩගැලීමෙන් ශ්‍රි ලංකාව , ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, මාලදිවයින හා බුරුමය යන රටවල් ද අප්‍රිකාවේ සෝමාලියාව යන රටවල්වලට දරුණු ලෙස හානි සිදු වුණා.
ලොවපුරා 225000කට වැඩි පිරිසකට ජීවිත තත්පර කිහිපයකදී අහිමි කිරීමට මේ චණ්ඩ රළ පහරට හැකියාවක් ලැබු අතර එදින අඩි තිහක් උසට සුනාමි රළ ගොඩබිමට පැමිණි බවයි වාර්තා වෙන්නේ.
දරුවන්ට දෙමව්පියන්, දෙමව්පියන්ට දරුවන්, බිරින්දෑවරුන්ට ස්වාමිපුරුෂයින් මෙන්ම ස්වාමිපුරුෂයින්ට බිරින්දෑවරුන් අහිමි කළ මෙම ව්‍යසනයෙන් කිසිදා අමතක කළ නොහැකි වේදනාත්මක මතක ගොන්නක් ලාංකිකයින්ට ඉතිරි කළා.
ඉන් අමතක කළ නොහැකි දුක්බරම මතකය වෙන්නේ සුනාමියට ගොදුරක් වූ පැරෑලියේ දුම්රිය ව්‍යවසනය.
මෙම දුම්රිය ව්‍යසනය 2004 සුනාමි-දුම්රිය ව්‍යසනය ලෙසයි හැඳින් වෙන්නේ.
මෙම ව්‍යසනය, ඉතිහාසයේ දුම්රියක් හා සම්බන්ධව සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත, සිදුවීම ලෙසද හැඳින්වෙනවා.
දෙසැම්බර් 26 වැනිදා උදෑසන 6:55 ට පමණ, සුපුරුදු පරිදි මෙම දුම්රිය කොළඹ කොටුව දුම්රිය නැවතුම්පළින් ගමන් ආරම්භ කළ අතර.ඒ අවස්ථාවේදී දුම්රිය තුල, ප්‍රවේශපත්‍ර සහිත මගීන් 1000-1500 අතර ප්‍රමාණයකුත්, ප්‍රවේශපත්‍ර රහිතව සිටි මගීන් නොදන්නා සංඛ්‍යාවකුත් සිටි බවයි සඳහන් වෙන්නේ.
කොළඹ සිට ගාල්ල දක්වා වූ නියමිත දුම්රිය ගමන් මග අතරතුර හමුවන, තෙල්වත්ත නැවතුම ආසන්නයේ පිහිටි පැරෑළිය ග්‍රාමයේ ධාවනය වෙමින් පැවැති දුම්රිය වෙත සුනාමි රළ ගැටීම නිසා මෙම අනතුර සිදුවුණා.
කොළඹ දුම්රිය නැවතුම්පළින් පිටත් වූ දුම්රිය, උදෑසන 9:30 පමණ වන විට තෙල්වත්ත අසල, පැරෑළිය ග්‍රාමය ඔස්සේ ධාවනය වෙමින් පැවතුණා.
එම අවස්ථාව වන විට ගලා ආ පළමු සුනාමි රළ, වෙරළ තීරය යටකරමින් ගොඩ බිම දෙසට ගලා ඒමන් දුම්රිය හාත්පසද වට කර ගැනීම නිසා, දුම්රිය ධාවනය නතර කරන කරනු ලැබුවා.
මුහුදු රළ ගැටුනද දුම්රිය, පීලි මත නිරුපද්‍රිතව පවතීවි යැයි එහි සිටි සිය ගණනක් වූ මගීන් බලාපොරොත්තු වූවත්, ඊළඟ මොහොතේ පැමිණි විශාල සුනාමි රළ, දුම්රිය මැදිරි සහ අවට තිබූ ගස්කොලන්, නිවාස ආදියටද දැඩි හානි සිදුකරමින් ජල පහර ඉදිරියට ගලා ගියා.
සුනාමි රළ පහර හේතුවෙන් ජලයෙන් පිරී ගොස් තිබූ දුම්රිය මැදිරි අටක සිටි පිරිස ඒ තුළම ගිලී මිය ගිය අතර, සමහරක් දෙනා ජල පහරේ ගසා ගෙන ආ සුන්බුන්වල ගැටීම නිසා ජීවිතක්ෂයට පත්වුණා.
මේ අවස්ථාවෙහි දුම්රියේ ගැටී තිබුණු සුනාමි රළ පහර, සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට මීටර 7.5 – 9 ත් පමණ උස් වූ රළ පහරක් බවයි පැවසෙන්නේ.
අනතුර නිසා පුද්ගලයන් 1,700 කට වඩා වැඩි පිරිසක් මිය ගිය අතර එම ප්‍රමාණය, ඊට පෙර දුම්රිය ඉතිහාසයේ වාර්තා වී තිබූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත, 1981 වසරේ සිදුවූ බිහාර් දුම්රිය අනතුරේ මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක්.