27 C
Colombo
Saturday, June 10, 2023

පිටසක්වල ලෝක 29ක්. පෘථිවිය ගැන ඔත්තු බලනවා වෙන්න පුළුවන් !

- Advertisement -

නවතම පර්යේෂණ අනුව විද්‍යාඥයන් පිරිසක් අනුමාන කරන්නේ අපේ ලෝකය අධ්‍යන කරමින් පවතින ග්‍රහලෝක 29ක් තිබිය හැකි බව. ඒ කියන්නේ ග්‍රහලෝක 29ක පිටසක්වලයන් සිටින බව නෙවෙයි. පිටසක්වලයන් ඉන්න ඉඩ තියෙන, ඒ කියන්නේ පිටසක්වලයන්ට පහසුකම් තිබෙන ග්‍රහලොක 29ට වඩා අප සොයාගෙන හමාරයි. ඒවායේ  පිටසක්වලයන් ඉන්නවාද කියා අප හරියටම තහවුරු කරගෙන නැතිවා පමණයි.

මේ කතාව ඊට වඩා සංකීර්ණයි. අප ඒ ගැන පැහැදිළි කර ගනිමු. ඒ පැහැදිලි කිරීම ඉවරවෙද්දී පොඩි බයකුත් දැනේවි. මොකද, ඔය කියන ග්‍රහලෝක 29න් එකක හෝ බුද්ධිමත්, භයානක ජීවී විශේෂයක් හිටියොත්, පෘථිවිය ගැන ඕනෑවටත් වඩා තොරතුරු දැනගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙනවා. අපේ භාෂා, සංස්කෘතීන්, දැනුම වගේම ජීව විද්‍යාවත් ඒ ග්‍රහලෝකවල අයට ලෙහෙසියෙන් දැනගන්න ලැබේවි. එයාලාට හොඳට අප ගැන ඔත්තු බලන්න පුළුවන්.

ඒ කියන්නේ මේ විද්‍යාඥයන් බලා තිබුණේ කිසි බාධාවක් නැතිව අප දිහා බලා ඉන්නට හැකි විදියේ පිහිටීමක් තියෙන ග්‍රහ පද්ධති 29ක් ගැන. අප සීමාව ඉක්මවා නිරාවරණය වූ ග්‍රහ පද්ධති 29ක් ගැන.

අමුතු දේ තමයි ඒ ග්‍රහලෝකවල අවුරුදු සීයක් තිස්සේ තොරතුරු දුන්නේ, ඔත්තු සැපයුවේ අපේම අය. පෘථිවියේම අය.

තිස්තුන්කෝටියක් දෙවිවරු ඉන්න, දිව්‍යලෝක හයක් ගැන කතාන්දර බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. ඉන්දීය දේව කතාන්දර වගේම ග්‍රීක පුරාවෘත්තවල පවා පෘථිවියට නිතර යන එන දෙවිවරුන් ගැන සඳහන්. ඕනෑ ආගමික සාහිත්‍යයක දිව්‍යලෝක තියෙනවා.

ඒ දිව්‍යලෝකයක් සැබෑවට පවතින බව තහවුරු වුණොත් ඒකේ තේරුම තමයි බුද්ධිමත් ජීවීන් ඉන්න ග්‍රහලෝකයක් අපි සොයාගත්තාය කියන එක. මොකද දේව ලෝක ගැන කතාන්දර කොපමණ තිබුණත් තවම එකක්වත් තහවුරු වී නැහැ.

ආගමික විශ්වාස වගේම පෘථිවියට ආ කොට, කොළ පැහැ සිරුරක් තිබෙන විශාල ඇස් සහ අප්‍රසන්න සමක් ඇති පිටසක්වලයන් පිළිබඳ කතාන්දර මෑත අවුරුදු 50ක පමණ කාලසීමාවේ අසන්න ලැබුණා. ඒරියා 51 වැනි කතාන්දරත්, මෑත දිනවල ඇමෙරිකාවේ නාවික යාත්‍රාවලට හසු වුණායැයි කියන හඳුනා නොගත් වස්තූන් ගැනත් අපැහැදිලි කරුණු තිබුණා. ඊටත් එහා ගිහින් ‘ඔමුවාමුවා’ නම් හඳුනාගත නොහැකි වස්තුව සෞරග්‍රහ මණ්ඩලය වටේ රවුමක් ගිය හැටි විද්‍යාඥයන්ගේ අවධානයට යොමු වුණා.

ඒ කුමන කරුණක් තිබුණත් පෘථිවියෙන් පිට ග්‍රහලොවක සිට ආලෝක වර්ෂ ගණනාවක් පසු කරගෙන මෙලොවට එන්නට තරම් දියුණු, බුද්ධිමත් ජීවීන් හමුවීම කෙසේ වෙතත් අප තරම් නොදියුණු ජීවීන් විදියටවත් පෘථිවියන් පිට ජීවය පවතින බව තවම කිසිවෙක් තහවුරු කර නැහැ. ජීවීන් ඉන්නට ඉඩ තියෙන ලෝක හඳුනාගත්තත් ඒවායේ ඉන්න බව තහවුරු කර නැහැ.

කණට ඇසුණත්, ඇසට පෙනුණත් අතට හසුවෙනතුරු විශ්වාස කරන්න එපා යන පුංචි කාලයේ අප ඉගෙනගත් පාඩම තමයි විද්‍යාවේ පදනම. ඉතින්, ඒ අනුව තවමත් විශ්වාස කරන්නට කිසිම සාක්ෂියක් නෑ.

සමාවන්න, කුමන හෝ හේතුවක් නිසා දෙරණ ප්‍රවෘත්ති කණ්ඩායම සහ කැලණියේ නායක හාමුදුරුවන් සොයාගත් නාග ලෝකයෙන් ආ නාගයා සහ නාගලෝකයේ හැදූ කරඬුව සාක්ෂ්‍ය ලෙස විද්‍යාඥයන් පිළිගන්නේ නැහැ.

මේ විද්‍යාඥයන් පිරිස ඒ ඒ ග්‍රහලෝකවල ජීවීන් සිටිනවාදැයි සොයා නැහැ. ඔවුන් කර ඇත්තේ ජීවීන් ඉන්න ඉඩ තියෙන ග්‍රහලෝක සොයා, ඔවුන්ට පෘථිවිය නිරීක්ෂණය කරන්නට ඇති ඉඩකඩ සොයා බැලීම.

සාමාන්‍යයෙන් ග්‍රහලෝකයක ජීවය තිබෙන්නට නම් දැනට හඳුනාගත් ලක්ෂණ කිහිපයක් තිබෙනවා. ඒ ග්‍රහලෝකය සූර්යයාට වඩා නිශ්චිත දුරකින් පිහිටා තියෙන්න ඕනෑ. ‘ගෝල්ඩිලොක් කලාපය’ ලෙසින් හඳුන්වන ඒ කලාපයේ තියෙන ග්‍රහලෝකවල වායුගෝලයක්, ජලය ආදී අපේ ලෝකයේ ජීවය බිහිවෙන්න හේතු වූ සාධක පැවතිය හැකියි.

පෘථිවිය අවට තිබෙන ග්‍රහලෝක 5000ක් අතරින් ඔවුන් අපව පේන ග්‍රහලොක වෙන් කරගෙන. මේ ග්‍රහලෝක යම් දුරකින් පිහිටා තිබීම විතරක් ප්‍රමාණවත් නෑ. අපේ පෘථිවිය ගැන දත්ත දීර්ඝ කාලයක් නිරීක්ෂණය කරන්න පුළුවන් විදියට මේ ග්‍රහලොක පිහිටා තිබුණාද කියන එකත් විද්‍යාඥයන් බැලුවා.

මේ විද්‍යාඥයන් කණ්ඩායම පෘථිවිය අවට තිබෙන තාරකා 1715ක ග්‍රහ මණ්ඩල තෝරාගෙන. මේ ග්‍රහ මණ්ඩලවල බුද්ධිමත් ජීවීන් සිටියහොත් ‘ට්‍රාන්සිට් ක්‍රමය’ කියා අපේ විද්‍යාඥයන් අද කියන ක්‍රමය පාවිච්චි කරමින් පෘථිවිය කියා ග්‍රහලොවක් තිබෙන බව හඳුනාගන්න පුළුවන්. ට්‍රාන්සිට් ක්‍රමය තේරුම් ගන්න අමාරු නෑ.

ඒ ලෝකවල කවුරුහරි හිටියා නම්, හැකියාවත් තිබුණා නම් පහුගිය අවුරුදු 5000ක කාලයක් තිස්සේ පෘථිවිය දිහා බලන්න ඇති.

ඒ අතරිනුත් තරු 46ක් තෝරාගෙන. ඒ තාරකාවල පිහිටීම නිසා ඔවුන්ට හැකියාව තියෙනවා මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම ගැන ඉතා සංවේදී තොරතුරු දකින්න. ඒ අතරිනුත් ග්‍රහලෝක 29ක් තමයි ජීවිය පැවතීමට ඉඩ තිබෙන, පෘථිවියේ තරංග නිරීක්ෂණය කළ හැකි ග්‍රහලෝක විදියට ඔවුන් තෝරාගෙන තිබෙන්නෙ.

ඔබ දන්නවාද? අපේ මේ රූපවාහිනී සහ ගුවන්විදුලි තරංග විකාශය කළාට පසුව අපේ ගෙවල්වල ටීවීවලට පමණක් නෙවෙයි ඒ තරංග ලැබෙන්නේ. ඒ තරංග අනන්ත විශ්වය දිහාට නැවතීමක් නැතිව ගමන් කරනවා. ඒ කියන්නේ අපි ගුවන්විදුලි තරංගයක් නිර්මාණය කළොත්, ඒ තරංගය නැවතීමක් නැතිව ගමන් කරනවා. ආලෝකයේ වේගයෙන්.

ඒ අනුව පෘථිවිවාසීන් රේඩියෝ තරංග හඳුන්වා දී ඒවා නිකුත් කරන්නට පටන්ගත් අවුරුදු සීයකට වැඩි කාලසීමාව පුරාවට අප ඒ තරංග විශ්වයට යැව්වා. ඒ අනුව ආලෝක වර්ෂ සීයක දුරින් පෘථිවිය වටේ රවුමක් ඇන්දොත්, ඒ කලාපයේ ඉන්න ග්‍රහලෝකවලට දැනටමත් අපේ ලෝකයෙන් රේඩියෝ තරංග ගමන් කරලා. ඒ කියන්නේ එක් විදියකට කීවොත් අවුරුදු සීයක් පරණ ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන් ඒ ග්‍රහලෝකවල අයට බලන්න පුළුවන්.

කතාව ඒ තරම් සරල නෑ. එකදිගට රූපවාහිනී වැඩසටහන් බලන්න බැරි වේවි. ඒත් අපේ තරංග කොටස් වශයෙන් නොකඩවා ඔවුන්ට බලන්න ලැබේවි. බිඳුණු හඬවල්, අපැහැදිලි රූප වගේ. ඒ දත්ත එකතු කරමින් අපේ ග්‍රහලෝකය ගැන චිත්‍රයක් මවාගන්න ඔවුන්ට හැකියාව ලැබේවි. සමහර තාරකා තිබෙන්නේ ආලෝක වර්ෂ 10ක්, 12ක් හෝ 13ක් දුරින්. ඒ අනුව 2008-2010 කාලයේ තරංග ඔවුන්ට ලැබෙනවා.

අපේ ලෝකේ ගෙවල්වලට පවා සමහර රූපවාහිනී නාළිකා අහුවෙන්නේ නැති එකේ ආලෝකවර්ෂ ගාණක් දුරින් ඉන්න කෙනෙක් කොහොම බලන්නද? ඔබට හිතේවි. උත්තරය තමයි අපි ගෙදර ටීවී බලන්නේ අති දියුණු රේඩියෝ දුරේක්ෂ දාගෙන නෙවෙයි, පොඩි ඇන්ටෙනා දාගෙන.

ට්‍රාන්සිට් ක්‍රමයට ග්‍රහලෝක නිරීක්ෂණය කිරීම තව ටිකක් පැහැදිලි කරගමු.

අපේ ලෝකයේ අද තිබෙන හොඳම දුරේක්ෂයකට පවා තවත් තරුවක් වටේ කැරකෙන ග්‍රහලෝකයක් හඳුනාගන්න බෑ. හේතුව සරලයි. තරු එක්ක ගත්තාම ග්‍රහලෝක කියන්නේ ඉතා පුංචි වස්තූන්. ඒවායෙන් ආලෝකය විහිදෙන්නේත් නැහැනේ. ඒ නිසා ඒ තරම් ඈත තියෙන ග්‍රහලෝකයක් දෑහින් බලන්න බෑ. ඒක නිකම් වෙරළක ඉඳන්, ක්ෂිතිජයේ තියෙන නැවක ඉන්න පුංචි බලු පැටියෙක් දිහා බලනවා වගේ. අපට නැව සහ නැවේ ආලෝකය පෙනේවි. ඒත් ඒක මත ඉන්න බලු පැටියා බලන්න බැහැ.

ඒ නිසා අපේ කපටි විද්‍යාඥයන් පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනවා. එයාලා ඈත තියෙන තරුවක් දිහා නොකඩවා බලා ඉන්නවා. බලා ඉන්නවා කියන්නේ හිටගෙන බලාගෙන ඉන්නේ නෑ. පරිගණකවලින් තමයි බලා ඉඳලා දත්ත අපට දෙන්නේ. ඒ තරුවේ ආලෝකය චුට්ටක් හරි චලනය වුණොත් අර බලා ඉන්න යන්ත්‍රවලට වැඩේ අහුවෙනවා. ඒ විදියට දිග කාලයක් දත්ත ලැබුණම, එයාලා අඳුනගන්නවා මේ තරුවේ ආලෝකය යම් කාලසීමාවක් ඇතුළේ අහවල් වාර ගණනක් වෙනස් වුණ බව.

එයාලා ඒ තරුවේ ආලෝකයේ වෙනස්වීම, වෙනස් වූ රටාව ගණං කරනවා. ඒ අනුව තේරුම් ගන්නවා මේ ග්‍රහලෝකයේ ආලෝකය හැමදාම එකම රටාවට වෙනස් වෙන්නේ ග්‍රහලෝකයක් නිසයි කියලා. එතැනින් එහාට තරුවේ සිට එන ආලෝකය ප්‍රිස්මයකින් යැවීමෙන් ග්‍රහලෝකයේ තිබෙන වායුගෝලය ගැන අඳුනගන්නත් පුළුවන්. තරුවේ සයිස් එකත්, ආලෝකය වෙනස් වෙන විදියත් අඳුනගෙන ග්‍රහලෝකයේ ප්‍රමාණය සහ දුර අනුමාන කරන්නත් පුළුවන්.

මේ ඔක්කොම මාර ගණිත සෙල්ලමක්. අවුරුදු එකහමාරකට විතර කලින් ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන් පිරිසකුත් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ඉඳන් දත්ත අධ්‍යනය කරලා ග්‍රහලෝකයක් සොයා ගත්තා.

ඉතින් මේ කියන විද්‍යාඥයන් කණ්ඩායම හෙව්වේ අපි අනුගමනය කරපු ඒ ක්‍රමයම අනුගමනය කරලා, ඒ ලෝකවල ඉඳන් පෘථිවිය අඳුනගන්න පුළුවන් අයව. ඒ වගේ ග්‍රහ මණ්ඩල තමයි 1715ක් තිබුණේ. ඒ කියන්නේ රේඩියෝ තරංග නැතිව අපව අල්ලා ගන්න පුළුවන් ග්‍රහලෝක එච්චර ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් එකක හෝ දියුණු ජීවීන් හිටියොත් වැඩිදුර අධ්‍යනය කරන්න මේ පැත්තේ ඇවිත් යන්න ඉඩ තියෙනවා.

ඒ අනුව අපේ ලෝකය ඉන්නේ ඉරට මුවාවෙන් විශ්වය ඇතුළේ හැංගිලා නෙවෙයි. සෑහෙන විවෘත වෙලක් මැද්දේ හිටගෙන ඉන්නවා වගේ තමයි.

– තරිඳු උඩුවරගෙදර –

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.