පැමිණිල්ලක් කිරීම සඳහා සිය මව සමග පොලීසියට පැමිණි වයස අවුරුදු 16 ට අඩු බාලවයස්කාර දැරියක් සමග ප්‍රේම සබඳතාවක් ආරම්භ කරගෙන අවස්ථා කිහිපයකදී ඇයව අපයෝජනයට ලක් කිරිම ඇතුළු චෝදනා තුනකට වරදකරු කරනු ලැබූ 27 හැවිරිදි විවාහක පොලිස් සැරයන්වරයකුට එම චෝදනා තුනට වෙන් වෙන්ව වසර 45ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙනවා.
ඊයේ (03) එම නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම සිර දඬුවම නියම කළේ වසර 15කින් එකවර ගෙවී යන ලෙසට යි.
එයට අමතරව වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දියක් ගෙවන ලෙසට ද අබේවර්ධන ලියනාආරච්චිගේ ප්‍රභාත් උදයංග නමැති එම විත්තිකරුට නියම කළ විනිසුරුවරයා එම වන්දිය නොගෙවන්නේ නම් පෙර කී සිරදඬුවමට අමතරව වසර එකහමාරක අමතර සිරදඬුවම් ලබාදීමට ද නියෝග කළා.
රුපියල් තිස්දහසක දඩයක් ද විත්තිකරුට නියම කළ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම දඩය නොගෙවන්නේ නම් පෙරකී සිරදඬුවම්වලට අමතරව තවත් වසර එකහමාරක බරපතළ සිරදඬුවම් ලබාදීමට ද නියම කර තිබෙනවා.
විත්තිකාර පොලිස් සැරයන්වරයා විත්ති කූඩුවේ සිට හඬා වැටෙමින් තමන්ට අත්හිටවූ සිරදඬුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටි අතර මහාධිකරණ විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පෙන්වා දී තිබුණේ මෙම නිලධාරියා තමන්ගේ සේවය ලබාගැනීමට පැමිණි අයෙකුට කර ඇත්තේ බරපතළ වරදක් බවයි.
විත්තිකරුගේ එම ක්‍රියාව නිසා එම තරුණියට ශාරීරික වශයෙන් පමණක් නොව මානසිකව ද දැඩි ලෙස පීඩා විඳීමට සිදුවී ඇති බවත් අවස්ථා ගණනාවකදීම ඇගේ මව හා සොහොයුරිය නොමැති අවස්ථාවලදී ඇගේ නිවසට ගොස් තිබෙන විත්තිකරු පසුව ඇයව මගහැර යෑම නිසා සිය දිවි හානි කර ගැනීමට පවා උත්සාහ කර ඇති බවත් පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ ලිෂාන් රත්නායක මහතා පවසා තිබුණා.
කළුබෝවිල රෝහලට ඇතුළත් කළ ඇයගේ ජීවිතය ගලවා ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවී ඇතත් ඇය විඳින මානසික පීඩනය කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකි බැවින්, එවැනි වැරදි නොකළ යුතු බවට සමාජයට ආදර්ශයක් ගත හැකි අයුරින් දඬුවම් නියම කරන ලෙසට ද රජයේ අධිනීතිඥ ලිෂාන් රත්නායක මහතා විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටි බවයි පැවසෙන්නේ.