ගතවූ මාස 7 තුළ වෙඩිතැබීමේ සිදුවීම් 79ක් සිදුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පැනයකට පිළිතුරු දෙමින් පවසා සිටියා.
පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වන දින සිට පෙරේදා (08) දක්වා වූ කාලය තුළ සිදුව ඇති එම වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 52ක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 35ක් තුවාල ලබා තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම වෙඩිතැබීම්වලින් 62ක් සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් සිදුකර ඇති අතර, වෙඩිතැබීම් 17ක් අනෙකුත් ඒවා වනවා.
කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 260ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 229ක් සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් වන බව ද අමාත්‍යවරයා පවසා සිටියා.
පාතාලය මර්දනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග රජය විසින් ගෙන ඇති අතර, පසුගිය 2022, 2023 සහ 2024 යන කාලය දෙස බැලීමේ දී අපරාධවල කැපීපෙනෙන වර්ධනයක් සිදුව නොමැති බව ද පැවසු අමාත්‍යවරයා, කුමන තත්ත්වයක් තුළ ද අහිමිව යන්නේ මනුස්ස ජීවිතයක් බව ද සඳහන් කළා.
රජය විසින් මේ සම්බන්ධයෙන් ඉහළ තීන්දු ගෙන ඇති අතර, නව රජය බලයට පත්වීමෙන් අනතුරුව වෙඩි තැබීම්වල බරපතළ වර්ධනයක් ඇතැයි පිළිගත නොහැකි බව ද පැවසුවා.
“මේ පාතාලය මර්දනය කිරීම පිළිබඳව දශමයකින් හෝ අපේ ධෛර්ය අඩුවෙලා නෑ. අපි ඒ වෙනුවෙන් තීන්දු තීරණ රාශියක් අරගෙන තියෙනවා. ඒ අනුව දැක්මක් සැලසුමක් අනුව අපි මේ කටයුත්ත කරමින් ඉන්නවා. ඒක මත්ද්‍රව්‍ය සහ පාතාලය දෙකම ඒකාබද්ධව. ඒ වගේම මේ වෙඩිතැබීම් ගැන අධ්‍යයනය කරපුවහම 2022,2023,2024 කැපී පෙනෙන වර්ධනයක් දකින්න නෑ. නමුත් අපි කිසිදු වෙඩිතැබීමක් ලඝුකොට තකන්නේ නෑ. හැම මනුස්ස ජීවිතයක්ම වටිනාකමක් සහිතව සලකමින් කටයුතු කරන්නේ. ඒ නිසා පාතාල මර්දනය ගැන අපි රජයක් විදියට ගන්න පුළුවන් ඉහළම තීන්දු තීරණ අරගෙන තියෙනවා.”