පොලිසිය කප්පම් ඉල්ලා සිටියේ යැයි කියමින් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල සැකකරු සිදු කරන ප්‍රකාශය ලබන 24 දින ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (18) දන්වා සිටියා.
සැකකාර තාඹුගල මහතා විශේෂ මෝෂමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙසේ ප්‍රකාශය ලබාදීම සඳහා දින නියම කළා.
හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන 70ක් (කෝටි හතක්) වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැර සිටින තාඹුගල සැකකරු රහස් පොලිස් නිලධාරීන් තමාගෙන් රුපියල් කෝටි 30ක මුදලක් ඉල්ලා සිටි බවට සදහන් කරමින් කප්පම් චෝදනාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ හමුවේ පසුගිය 27 දින කරුණු ඉදිරිපත් කළා.
සැකකාර තාඹුගල මහතා සිය නීතිඥ උපාලි ජයමාන්න මහතා මගින් මෙම චෝදනාව ඉදිරිපත් කළා.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ පෙනී සිටි අතර අදාළ ප්‍රකාශය ලබාදීම සම්බන්ධයෙන් පොලිසියේ විරුද්ධත්වයක් නොමැති බවයි සඳහන් කළේ.
පැමිණිකාර සමාගමේ නීතිඥවරයාද ඊට විරුද්ධත්වයක් ප්‍රකාශ කර නොතිබූ බවයි සදහන් වන්නේ.
තාඹුගල සැකකරුට එරෙහි විමර්ශන පිටුපස ප්‍රබල දේශපාලනඥයින් සිටින බවද නීතිඥ උපාලි ජයමාන්න මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළා.