25 C
Colombo
Saturday, March 25, 2023

තවත් කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක්?

- Advertisement -

තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව එළඹෙන සතියේදී අමාත්‍යවරුන් 05 දෙනෙකු පමණ දිවුරුම්දීමට නියමිත බවයි පැවසෙන්නේ.

මේ අතර, පත් කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන් වෙත වරප්‍රසාද සැපයීමේ දී තමා විසින් නිකුත් කරන ලද ලිපියේ සඳහන් විධිවිධාන පමණක් අදාල කරගත යුතු බවට පැවසෙන ලිපියක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ (09) සියලු ම අමාත්‍යංශවල ලේකම්වරුන් වෙත යොමුකර තිබෙනවා. ඒ, අමාත්‍යවරුන්ට ලැබෙන වැටුප්, දීමනා සහ අනෙකුත් වරප්‍රසාද සම්බන්ධයෙන් අන් කවරදාටත් වඩා සමාජයේ කතා වන පසුබිමකයි.

ඒ අනුව මෙම විධිවිධානයන්ට අනුව, පත් වූ නව රාජ්‍ය අමාත්‍යවරයෙකුට, කාර්යාල පවත්වාගෙන යාම සඳහා දැනට අදාළ කැබිනට් අමාත්‍යාංශය පවත්වාගෙන යනු ලබන කාර්යාල පරිශ්‍රය තුළ ම පහසුකම් සලසාගත යුතු වන බවයි එහි සඳහන් වන්නේ.

ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරයාගේ සහාය කාර්ය මණ්ඩලය ලෙස පුද්ගලික ලේකම්වරයෙක්, සම්බන්ධිකරණ ලේකම්වරයෙක්, මාධ්‍ය ලේකම්වරයෙක්, මහජන සම්බන්ධතා නිලධාරියෙක්, කළමණාකරණ සහකාර නිලධාරි හෝ සංවර්ධන නිලධාරී යන තනතුරු දරන තිදෙනෙක්, කාර්යාල කාර්ය සහායකයන් දෙදෙනෙක්, රියදුරන් දෙදෙනෙක් ඇතුළු 11 දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් මෙම විධිවිධානයන්ට අනුව රාජ්‍ය අමාත්‍යවරයෙකුට හිමිව තිබෙනවා.

මෙම කාර්ය මණ්ඩලයට අයත්, පෞද්ගලික ලේකම්, මාධ්‍ය ලේකම් සහ මහජන සම්බන්ධතා නිලධාරි යන නිලධාරින්ට අදාල රාජ්‍ය අමාත්‍යවරයා ධුරය දරන කාලය තුළ පමණක් සීමාවන ආකරයට තාවකාලික පදනම මත සේවයේ යොදා ගත යුතු බවත්, එම තනතුරු සඳහා රාජ්‍ය සංස්ථා හෝ ව්‍යවස්ථාපිත ආයතන නිලධාරියෙක් අනියුක්ත කර ගන්නේ නම් ඔහුට, ඔහු සේවය කළ ආයතනයේ ලබමින් සිටි වැටුප නො ව අනුයුක්ත කරන ලද තනතුරට අදාල වැටුප පමණක් ගෙවන බවත් ජනාධිපති ලේකම්වරයා එම ලිපියේ සඳහන් කරනවා.

මීට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ රියදුරන් අතිකාල රාජකාරි සඳහා යෙදවීමේ දී අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් යෙදවිය යුතු බවත්, ඒ සඳහා වන දීමනා මසකට පැය 150කට යටත් වූ උපරිමයකට හා මසකට උපරිමව දින 8ක් සඳහා වන ලෙස දීමනා ලැබීමට හිමිකම් කියන බවයි එහි සඳහන් වන්නේ.

මේ අතර, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය හා ආරක්ෂාව වෙනුවෙන් නිල වාහන 03කුත්, රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට පමණක් නිල වාහනයක් සහ සහාය කාර්ය මණ්ඩලයේ අනෙකුත් නිලධාරීන් සඳහා වාහන 02ක් පමණක් වන ආකාරයට වාහන 06ක් ද එක් එක් රාජ්‍ය අමාත්‍යවරයාට හිමි වන බවයි අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වන්නේ.

එහි දී රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නිල වාහන සඳහා මසකට පෙට්‍රල් වාහනයකට නම් ලීටර 500ක් හෝ ඩීසල් වාහනයකට නම් ලීටර් 500ක් ලෙස ද වන අයුරින් අදාල නිල රථ තුනට ඉන්ධන ලීටර් 1500ක් හිමි ව තිබෙනවා.

ඒ අනුව ගත් කළ රාජ්‍ය අමාත්‍යවරයාට හිමි නිල රථයක් සඳහා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් භාවිත කරන්නේ නම්, අද(10) පවතින ඉන්ධන මිල ගණන් යටතේ එක් පෙට්‍රල් වාහනයක ඉන්ධන සඳහා වෙන් කෙරෙන වියදම ලෙස රුපියල් 225,000 (Rs 450 x 500L)ක් ද, අදාල නිල රථ තුන ම පෙට්‍රල් වාහන නම් මෙම මිල ගණන් යටතේ මාසිකව රුපියල් 675,000ක් ද රජය විසින් දැරීමට සිදු වනවා.

එසේ නො මැති ව අදාල රාජ්‍ය අමාත්‍යවරයා තම නිල වාහන ලෙස භාවිත කරන්නේ ඩීසල් වාහනයක් නම්, අද(10) වෙළෙඳපොලේ පවතින ඉන්ධන මිල ගණන් අනුව ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල හා ගණනය කිරීමේ දී එක් වාහනයක් සඳහා මසකට රුපියල් 255,000 (Rs 510x500L)ක් බැගින් එම නිල වාහන තුන ම ඩීසල් වාහන නම් ඒ සඳහා රුපියල් 765,000ක ඉන්ධන වියදමක් එක් රාජ්‍ය අමාත්‍යවරයෙක් වෙනුවෙන් මාසික ව දැරීමට රජයට සිදු වනවා.

ඒ අනුව බලන කළ තම නිල රථ ලෙස පෙට්‍රල් වාහන තුනක් බැගින් මෙම රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනා විසින් භාවිත කරන්නේ නම්, මාසිකව එම නිල රථ (පෙට්‍රල්) 111 සඳහා රජයට දැරීමට සිදුවන වියදම රුපියල් 24,975,000ක් ලෙසත්, එම රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනා ම තම නිල රථ ලෙස භාවිත කරන්නේ ඩීසල් වාහන නම් එම නිල වාහන සියල්ල වෙනුවෙන් ම මාසිකව රුපියල් 28,305,000ක මුදලක් ඉන්ධන දීමනාව ලෙස වෙන් කිරීමට රජයට සිදු වනවා.

මේ අතර ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ මතු දැක්වෙන ලිපියෙහි සඳහන් ආකාරයට රාජ්‍ය අමාත්‍යවරයෙකුට හිමිවන නිල වාහන 03ට අමතරව ඔහුගේ කාර්ය මණ්ඩලයේ කටයුතු සඳහා වෙන් වන අනෙකුත් වාහන 03 වෙනුවෙන් වෙන් කෙරන ඉන්ධන ප්‍රමාණයන් හෝ ඉන්ධන දීමනාවක් පිළිබඳව මෙහි නිශ්චිත සටහනක් නැහැ.

අදාල වාහන සහ ඉන්ධන පහසුකම්වලට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන්ට දුරකතන පහසුකම් ද හිමි වනවා.

ඒ අනුව අදාල රාජ්‍ය අමාත්‍යවරයාට හිමි වරප්‍රසාද අනුව, ඔහුගේ කාර්යාලයට දුරකතන 2ක් ද, නිවසට දුරකතන 1ක් ද, අමාත්‍යවරයාට ජංගම දුරකතනයක් ද හිමි වන අතර ඒවායේ සන්නිවේදන වියදම ලෙස මාසිකව රුපියල් 40,000ක් වෙන් කෙරෙන බවයි ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ ලිපියේ සඳහන් වන්නේ.

මේ අතර අදාල රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්, සම්බන්ධිකරණ ලේකම්, මාධ්‍ය ලේකම් හා මහජන සම්බන්ධතා නිලධාරී‍ යන රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ නියුතු නිලධාරීන්ට කාර්යාල, නිවාස සහ ජංගම වශයෙන් එක් අයෙකුට දුරකතන 03 බැගින් අදාළ කාර්ය මණ්ඩල‍යට දුරකතන 12ක් හිමි වනවා.

එම දුරකතනවල සන්නිවේදන වියදම් ලෙස අදාල රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞදගලික ලේකම්‍ට මාසිකව රුපියල් 6000ක් ද, සම්බන්ධිකරණ ලේකම්, මාධ්‍ය ලේකම් සහ මහජන සම්බන්ධතා නිලධාරී යන අයට රුපියල් 5000ක් බැගින් ද වෙන් කිරීමට නියමිත බවයි එහි සඳහන් වන්නේ.

ඒ අනුව එක් රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ සහ ඔහුගේ සහාය කාර්ය මණ්ඩල නිලධාරීන් වන පෞදගලික ලේකම්‍, සම්බන්ධිකරණ ලේකම්, මාධ්‍ය ලේකම් සහ මහජන සම්බන්ධතා නිලධාරී යන අයට මාසිකව සන්නිවේදන ගාස්තු ලෙස රුපියල් 41,000ක (දත්ත භාවිත කිරීමේ වියදම්, ජාත්‍යන්තර දුරකතන ඇමතුම්, මාසික ස්ථාවර ගාස්තු සහ බදු මුදල් ඇතුලුව) දීමනාවක් ‍රජය විසින් වෙන් කෙරනවා.

ඒ අනුව ගත් කළ සාමාන්‍යයෙන් රජය විසින් මාසිකව එක් රාජ්‍ය අමාත්‍යවරයෙක්ට නිල වාහන 03 සඳහා වන ඉන්ධන දීමනාව සහ ඔහුගේ හා සහාය කාර්ය මණ්ඩල නිලධාරින්ගේ සන්නිවේදන දීමනා ඇතුළුව මාසිකව රුපියල් 806,000ක මුදලක් වෙන් කෙරෙනවා.

මේ අතර උක්ත වියදම්, දීමනා හා වරප්‍රසාදවලට අමතරව මෙම අමාත්‍යවරුන්ට කොළඹින් නිවසක් හා ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ ඇතැම් වියදම් ද පාර්ලිමේන්තුව විසින් වෙන් කරනු ලබන අතර වාර්ෂිකව රුපියල් 350,000ක තැපැල් මුද්දර ද ලැබෙනවා යන්නත් නො රහසක්.

වර්තමාන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පසුගිය මැයි මස 12 වැනි දා මෙරට හයවැනි අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී දින අටක ඇවෑමෙන් එනම් මැයි මස 20 වැනි දා තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, “අපි අලුතින් පත්කරන ඇමතිවරු, ඇමති වැටුපක් ලබාගන්නේ නැහැ. ඒවගේ ම ඇමතිවරුන්ට තියෙන වරප්‍රසාද අඩු කරන්නත් අපි සාකච්ඡා කරලා තියෙනවා.” යනුවෙන්.

නමුත් පසුගිය දා පත් කෙරුණු නව රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනා සහ කැබිනට් අමාත්‍යවරු 20 දෙනා ඇතුළු සමස්ත අමාත්‍ය මණ්ඩලය වන 57 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමේ යටත් පිරිසෙන් එක් අයෙකු හෝ තමන් සහභාගි වන පාර්ලිමේන්තු වාර සහ කාරක සභා රැස්වීම් සඳහා වන වැටුප් ලබා නො ගන්නවා යනුවෙන් නිශ්චිත ප්‍රකාශයක් හෝ සිදු කර නැහැ.

ඒ කෙසේ වෙතත්, ජනාධිපතිවරයා විසින් යෝජනා කර සිටින ‘රාජ්‍ය වියදම් කළමණාකරණය’ නම් වැඩපිළිවෙල තුළ සිදුව ඇත්තේ, අමාත්‍යවරුන්ගේ වියදම් සුළු කප්පාදු කිහිපයකට ලක් කිරීම පමණක් බව පසුගිය රජයේ අමාත්‍යවරුන්ගේ වැය ශීර්ෂ හා සසඳා බැලීමේ දී පැහැදිලි යි.

RECENT ARTICLES - SINHALA

චීනයෙන් තවදුරටත් ණය ගැනීම සිදු නොකළ කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

0
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබා ගැනීම සිදු නොකළ යුතු බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි...

මහ බැංකු අධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන්ගෙන් ස්තුතිය

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24) දිනයේ ස්තුතිය පළකර තිබෙනවා. ඒ...

යළි වාහන ආනයනයට අවසර දෙන්න – වාහන ආනයනකරුවන්

0
වාහන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සලසන මෙන් ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ ලේකම් ප්‍රසාද්...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...