මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වෙනවා.
මලයහ තමිල් ප්‍රජාව මෙරටට පැමිණ වසර 200ක් ඉක්ම ගොස් තිබෙන අතර, ශ්‍රී ලාංකේය නාමය ලොව ඉදිරියේ සනිටුවන් කිරීමෙහිලා තේ කර්මාන්තය වෙනුවෙන් පරම්පරා ගණනාවක් තිස්සේ සිය ශ්‍රමය කැප කරන මලයහ තමිල් ප්‍රජාවගේ ජීවිත සමාජීය, සංස්කෘතික සහ ආර්ථිකමය වශයෙන් තවමත් උසස් තත්ත්වයට පවත්ව නැහැ.
මෙම ඡායාරූප ප්‍රදර්ශනයේ ප්‍රමුඛතම අරමුණ වන්නේ, මලයහ තමිල් ප්‍රජාවගේ ජීවිත සම්බන්ධයෙන් සමාජ සංවාදයකට මඟ පෑදීම සහ ඒ ඔස්සේ දේශපාලන සහ සමාජීය ප්‍රතිසංස්කරණ උදාකර ගැනීම සඳහා බලපෑම් කිරීමයි.
බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජීවත්වන මලයහ තමිල් තරුණ තරුණියන් විසින් මෙම සියලු ඡායාරූප ලබාගෙන ඇති අතර, මලයහ තමිල් ප්‍රජාව වශයෙන් තමන් මුහුණ දෙමින් සිටින ප්‍රශ්න පිළිබද සවිඥානික වෙමින් සමාජීය හා දේශපාලනික ප්‍රතිසංස්කරණ උදාකර ගැනීමේ උවමනාව පෙරදැරිකරගෙන ඔවුන් මෙම ක්‍රියාවලිය සම්බන්ධ වී සිටිනවා.
මලයහ තමිල් ප්‍රජාව මුහුණ දෙන ගැටලු , ඔවුන් අත්පත්කරගෙන ඇති සංවර්ධනයන්, ජයග්‍රහණ (Development and Achievement) සහ ඔවුන්ගේ දායකත්වයන් යන තේමා ඔස්සේ ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වෙනවා.
ඡායාරූප කතන්දර 25ක් (ඡායාරූප 250ක්) සහ කෙටි වීඩියෝ පට 20ක් ප්‍රදර්ශනයට ඇතුළත් වනවා.