ජනපතිවරණයේ ඉදිරි කාලය තුළ මහජන සාමය හා ආරක්ෂාව තහවුරු කරලීමට ක්‍රියා කරන වගකීම සියලු ජනාධිපති අපේක්ෂකයන් විසින් ඉටු කරන ලෙස හා ඊට අදාළ යෝජනාවලියක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් අපේක්ෂකයන් වෙත යොමු කර තිබෙනවා.
සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ලේකම් වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු විසින් මෙම යෝජනා නිකුත් කර තිබෙනවා.
ස්වකීය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයන් අතරතුර මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සැකයක් හෝ එම රාජකාරි කටයුතුවල නිරතවන නිලධාරීන්ගේ ආරක්ෂාවට හා රාජකාරියට බාධාවක් වන අයුරින් ඍජුව හෝ වක්‍රාකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකීම යනාදිය එම යෝජනාවලියට ඇතුළත්.
එමෙන්ම අනෙකුත් අපේක්ෂකයන් සම්බන්ධයෙන් වෛරී ප්‍රකාශන සහ සාවද්‍ය තොරතුරු විවිධාකාර වූ මාධ්‍යයන් උපයෝගී කරගනිමින් ප්‍රචලිත කිරීමෙන් වැළකී සිටීමද ඇතුළත් වනවා.
තවද එහි ඇතුළත්ව ඇත්තේ, ජාතිය, ආගම හා අනෙකුත් සංවේදී කරුණු උපයෝගී කරගනිමින් වෙනත් අපේක්ෂකයන් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටීම සහ ජාතීන් හා විවිධ පුද්ගල කණ්ඩායම් අතර වෛරය පතුරුවන හා ගැටුම් ඇතිවිය හැකි ආකාරයේ ක්‍රියාවන් හා ප්‍රකාශයන්ගෙන් වැළකීම යනාදී කරුණුයි.
පුද්ගල තර්ජන හා හිංසාකාරී චර්යාවන් සඳහා අනුබල දීමෙන් හා ප්‍රවර්ධනයෙන් වැළකී සිටීම. එම ක්‍රියාවන් සඳහා තම අනුගාමිකයන් යොමු කිරීමෙන් වැළකීම යනුවෙන් එම යෝජනාවලියේ ඇතුළත්.
එමෙන්ම සමාජ මාධ්‍ය, කෘත්‍රිම බුද්ධිය වැනි නව ප්‍රචාරණ මාධ්‍යයන් උපයෝගී කරගැනීමේදී මාධ්‍ය ආචාර ධර්ම හා රටේ පවතින නියාමනයන්ට අනුකූල වන පරිදි කටයුතු කිරීම සහ මැතිවරණ නීතිරීති, රෙගුලාසි හා මාර්ගෝපදේශයන්ට අවනතව සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම හා ඒ සම්බන්ධයෙන් මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ අනුගාමිකයන් යාවත්කාලීන කිරීමද යෝජනාවලියේ වැඩිදුරටත් සඳහන් වනවා.