රාජ්‍ය සේවයේ දැනට පවතින නීති රීතී, රෙගුලාසි සහ කාර්ය පටිපාටීන්හි සිදු කළ යුතු සංශෝධන පිළිබඳ නිර්දේශ සහිත වාර්තාවක් ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ තවමත් ක්‍රියාත්මක වන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ පනවන ලද ආඥාපනත් සහ 1950 සිට 1970 දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පනවනු ලැබ ඇති පනත් හා රෙගුලාසි මත දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලන යාන්ත්‍රණයයි.
එකී කාල සීමාවේදී රට තුළ ප්‍රවාහන හා සන්නිවේදන ක්ෂේත්‍රයන් එතරම් දියුණු මට්ටමක නොපැවති අතර, සකස් කරනු ලැබ ඇති ඇතැම් නීති රීති හා රෙගුලාසි වර්තමාන තත්ත්වයන් හා නොගැළපෙන බැවින් සේවාදායකයින් වෙත කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සපැයීමට එමඟින් බාධා පැමිණෙන බව පෙනී ගොස් ඇති බව රජය පවසනවා.
රජය තවදුරටත් අවධාරණය කරන්නේ වත්මන් රාජ්‍ය සේවා අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි සහ මහජන අවශ්‍යතාවන් කාර්යක්ෂමව ඉටු කිරීමට හැකි වන පරිදි දැනට බලාත්මක නීති රීතී, රෙගුලාසි සහ කාර්ය පටිපාටීන්හි පවතින බාධාකාරී තත්ත්වයන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය නෛතික හා පරිපාලන ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු කළ යුතුව ඇති බවයි.
ඒ අනුව, අදාළ නිලධාරින්ගේ සහ පොදු මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගෙන දැනට පවතින නීති රීතී, රෙගුලාසි සහ කාර්ය පටිපාටීන්හි සිදු කළ යුතු සංශෝධන පිළිබඳ නිර්දේශ සහිත වාර්තාවක් ලබා ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් අදාළ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම වෙනුවෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.