රුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.
නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කර තිබුණා.
කොළඹ වරායට සේන්දු වූ නෞකාව, දිගින් මීටර් 187ක් හා නැව් මුළුව පන්සිය විසි නවයකගෙන් (529) සමන්විත අතර, නෞකාවේ ධජ නිලධාරි ලෙස Captain 1st Rank Velichko Anatoly Vasicievich සහ අණ දෙන නිලධාරී ලෙස, Captain 2nd Rank Glushakov Roman Nikolaevich කටයුතු කරනු ලබනවා.
මෙම නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ නෞකාවේ ධජ නිලධාරි සහ අණ දෙන නිලධාරී විසින් බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා සමඟ නිල හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එහි නැව් මුළුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගී වීමට මෙන්ම දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිතව තිබෙනවා.
මෙම නෞකාව නිල සංචාරය නිමා කරමින් 2024 මාර්තු මස 03 වැනි දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.