27 C
Colombo
Wednesday, August 10, 2022

ප්‍රමිතියක් නැති පොහොර තොගයකට සල්ලි ගත් චීනයෙන් ආයෙත් සද්දයක් – වන්දිත් ඉල්ලයි

- Advertisement -

ආන්දෝලනයට ලක් වූ චීන කාබනික පොහොර නැව පිළිබඳ කෘෂි ක්ෂේත්‍රය තුල යලි කතිකාවක් ඇති වී තිබෙනවා
ඒ ප්‍රතික්ෂේපිත චීන කාබනික පොහොර නැව වෙනුවට අලුත් පොහොර නැවක් ලබා දීමට නොහැකි බව චීනයේ චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගම මෙරටට දැනුම් දීමත් සමගයි.
චීන සමාගම ලබා දෙන පොහොර තොගය භාර නොගෙන ප්‍රතික්ෂේප කරන්නේ නම් එම සමාගම අපකීර්තියට පත් කළා සේ සලකන බවත් එම සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත සමාගම පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති සාකච්ජාවකදී පවසා තිබෙනවා.
ඒ අයුරින් චීන සමාගම අපකීර්තියට පත් කිරීමක් ලෙස සැලකුවහොත් ඊට අදාලව ගෙවිය යුතු වන්දිය අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක්.
නමුත් මෙරටට ලබා නොගත් පොහොර වෙනුවෙන් මේ වන විටත් චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවා අවසන්.

චීන පොහොර නැවේ කථාව කරළියට එන්නේ පසුගිය මසරේ මැයි මාසයේ ශ්‍රී ලංකා රජය විසින් ගත් ආන්දෝලනාත්මක ප්‍රතිපත්ති තීන්දුවක් සමගයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ගොවිතැනට අවශ්‍ය රසායනික පොහොර ආනයනය මුළුමනින්ම නවතා දැමු රජය, මෙරටට අවශ්‍ය කාබනික පොහොර රටතුලදීම නිපදවා හිඟයකින් තොරව ගොවීන්ට ලබාදෙන බවට වහසිබස් දෙඩුවා.
කෙසේ වෙතත් සැළසුම් කළ පරිදි මෙරට තුල කාබනික පොහොර නිෂ්පාදනය සිදු නොවුනේ ගොවීන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ඒ සදහා ප්‍රාමාණික දැනුමක් නොතිබීම හේතුවෙන්.

ගොවිබිමෙන් මහපාරට ආ ගොවි ජනතාවගෙන් එල්ල වූ දැඩි බලපෑම් හමුවේ මහ කන්නයේ වී වගාව සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජය තීරණය කලේ සිය දැඩි තීරණය අඩියක් පිටුපසට ගනිමින්.
අගෝස්තු මස 5 දා නිකුත් වූ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව, මුහුදු පැළෑටිවලින් නිපදවන කාබනික පොහොර ‘ චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගම’ නම් චීන සමාගමකින් ගෙන්වීමට තීරණය වුණේ ඒ අනුවයි. ඒ සඳහා රජය විසින් අනුමත කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 63.6ක්. චීන පොහොර නැවේ අර්බුදය දිග හැරෙන්නට පටන් ගන්නේ ඉන් අනතුරුවයි.
අගෝස්තු මස 31 දා මෙම කාබනික පොහොර තොගයේ සාම්පල දෙකක් ජාතික පොහොර ලේකම් කාර්යාලයය හරහා ජාතික ශාක නිරෝධායන සේවයට ලැබීමෙන් පසු සිදුකෙරුනු පර්යේෂණවලින් එක් සාම්පලයක “අර්වීනියා” සහ “බැසිලස්” යන ගණයන්ගේ ක්ෂුද්‍රජීවීන් බහුලව සිටිනබවට පළමු වරට අණාවරණ වුණා.

කෙසේ වෙතත්, රජයෙන් ආනයනය කළ කාබනික පොහොරවල ක්ෂුද්‍රජීවීන් ඇතැයි පැතිර යන ප්‍රවෘත්ති අසත්‍යක් බවට කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදන නිකුත් කලේ “ආනයනික කාබනික පොහොර භාවිත කිරීමට කිසිදු බයක් සැකක් ඇතිකර නොගන්නා ලෙස” ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිමින්.
නමුත් මෙරට කෘෂිකර්ම බාලධාරීන්, චීන සමාගමෙන් ගෙන්වූ පොහොර වල තවත් සාම්පලයක් පරික්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ අහිතකර ක්ෂුද්‍රජීවීන් සිටින බව යළි තහවුරු වූ බව යි.

ඒ අනුව චීන සමාගමෙන් ගෙන්වූ කාබනික පොහොරවල ක්ෂුද්‍රජීවීන් ඇතැයි රජය පිළිගත් අතර, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එහිදී ප්‍රකාශ කලේ පොහොර තොගය රැගෙන මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති හිපෝ ස්ප්‍රීට් නැවට කිසි ලෙසකින් මෙරට වරායන් වෙත ඇතුළු වීමට හෝ අදාළ පොහොර තොගය ගොඩබෑම සදහා අවසර ලබා නොදෙන බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජයේ වාර්තා ප්‍රතික්ෂේප කළ අදාළ චීන සමාගම , මෙරටට දැඩිව බලපෑමක් එල්ල කළේ තෙවන පාර්ශ්වයක සහභාගීත්වයෙන් මෙම කාබනික පොහොර තොගයේ සාම්පලවල අහිතකර බැක්ටීරියා ඇත්දැයි තහවුරු කළ යුතු බවටයි.
එසේ නොවන්නේ නම් ඊට දැඩි ක්‍රියාමර්ග ගන්නා බවටත්, ඔවුන් අවස්ථා කිහිපයකදී මෙරට චීන තානාපති කාර්යාලය හරහා නිවේදන නිකුත් කරමින් ශ්‍රී ලංකාවට තර්ජනද කළා.

අහිතකර බැක්ටීරියා ඇති බවට ලැබුණු වාර්තා හේතුවෙන් මෙම පොහෙර තොගය ශ්‍රී ලංකාවට භාර නොගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කළ නිසා පොහොර මිලදී ගැනීමට විවෘත කළ ණයවර ලිපිවලට අදාල මුදල් ගෙවීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා පොහොර සමාගම හා කොළඔ කොමර්ෂල් පොහොර සමාගම කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක්ද ගොනු කළා.

චීන සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඇති කරගෙන තිබූ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති අර්බුදකාරී තත්ත්වය දෙපාර්ශ්වයටම එකඟවිය හැකි වාණිජ කොන්දේසි මත සමථයකට පත් කර ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබා දුන්නේ මේ අතර වාරයේයි.
සමථ කොන්දේසි වලට අනුව ප්‍රමිතියෙන් යුත් පොහොර සැපයීම වෙනුවෙන් පැමිණිලිකාර කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට එකඟ වුණා.

ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් චීන සමාගම තැන්පත් කර ඇති මුදල් රාජසන්තක කිරීමට ද දෙපාර්ශවය අධිකරණය හමුවේ එකඟ වුණා.
ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් ඒවා ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ද පැමිණිලිකාර පාර්ශ්වය සතු වන බව සමථ කොන්දේසී වල සඳහන්.
නමුත් ප්‍රතික්ෂේපිත චීන කාබනික පොහොර නැව වෙනුවට අලුත් පොහොර නැවක් මෙරටට ලබා දීමට නොහැකි බව චීනයේ චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගම පවසනවා.

ප්‍රතික්ෂේපිත චීන පොහොර නැවට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 6.7ක මුදල මේ වන විට ගෙවා අවසන්.
නමුත් මේ වන තුරුත් ගෙවූ මුදලට සරිලන අයුරින් කිසිදු පොහොර තොගයක් මෙරටට ලැබී නැහැ.
ඒ සඳහා අධිකරණයේ පැවරුණු නඩු කටයුත්තේදී එළැඹුණු සමථකරණයට අනුව ප්‍රසිද්ධ කළ යුතු ඒකාබද්ධ නිවේදනය පවා මේ වනතෙක් නිකුත් නොකිරීම සැක සහිත බව කෘෂි විශේඥයින් පවසනවා.

ප්‍රතික්ෂේප වූ චීන පොහොර නැව සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග, කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ අනෙකුත් ගැටලුවලට මුවා වෙමින් මඟහැරීමට බලධාරීන් කටයුතු කරන බව කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන් පසුගිය කාලය පුරාම චෝදනා කළා.
ඔවුන් පෙන්වා දුන්නේ රටේ උද්ගතව ඇති ආර්ථික සහ දේශපාලන අවුල් සහගත තත්ත්වයත් සමඟ චීන පොහොර නැව මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු තවත් ව්‍යාකූල බවට පත්වූ බවයි.

චීන පොහොර නැව සම්බන්ධයෙන් ගනුදෙනු ආරම්භවූ දා සිටම මේ වනතුරු ඒ ගැන වගකීම් ඇමැතිවරු දෙදෙනකු හා රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනකු අතට පත් කිරීම මේ ව්‍යාකූලත්වය තවත් තීව්‍ර වීමට හේතු වී ඇති බව ඔවුන්ගේ අදහසයි.
හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ ප්‍රතික්ෂේපිත පොහොර නැව වෙනුවට අලුතින් පොහොර නැවක් අනිවාර්යයෙන්ම මෙරටට ගෙන්වන බව පැවැසුවද, චීනයට ඇමෙරිකන් ඩොලර් මිලියන 6.7ක මුදලක් ගෙවා කිසිවක්ම නොලබා අත පිහිදා ගැනීමේ තත්ත්වයට පත්වන බවක් දැන් පෙනෙන්නට තිබෙනවා.

පසුගිය දිනවල කෘෂි ක්ෂේත්‍රයේ උද්ගත වූ අර්බුදවල දරුණු ප්‍රතිඵල මේ දිනවල අත්විඳීමට ගොවීන්ට සිදුව ඇති නිසා ප්‍රතික්ෂේපිත චීන පොහොර නැව ගැන සංවාදයද තිරය පිටුපසට තල්ලු වූ ස්වරූපයක් ගෙන ඇතැයි කෘෂි විශේෂඥයින් පවසනවා.
කාබනික පොහොර නාඩගම අවසානයේ රටේ විදේශ සංචිත අතලොස්ස ද වනසා දමා කෝටි දෙකකට වැඩි ජනතාව උග්‍ර ආහාර අර්බුදයකට ඇද දමා තිබෙනවා.

ළමා රෝග විශේඥයින්ගේ උපදෙස් ගෙන ක්‍රියාත්මක කළ කාබනික කෘෂිකර්ම ව්‍යාපෘතිය වැරැද්දක් බව වසරකට පසු පාපොච්චාරණය කළ රටේ ජනාධිපතිවරයා සමාව ඉල්ලා සිටි අතර ඒ ඉල්ලූ සමාවෙන් ලැබුණු දෙයක් නම් නැහැ.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකාවේ ඉල්ලීම නොතකා චීන නෞකාව හම්බන්තොටට..! – NDTV

යුවාන් වැන්ග් - 5 පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම කල් දමන්නැයි ලක් රජය චීනයෙන් ඉල්ලීමක් කර තිබියදීත් එම නෞකාව හෙට (11) හම්බන්තොට...

අරගලකරුවන් රනිල්ගේ කාර් එකට මිලියන 191 ක අලාභයක් කරලා..!

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමෙන් රුපියල් මිලියන 205ක අලාභයක් සිදුව ඇති බවට තක්සේරු කර තිබෙනවා. අපරාධ...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පොදු නීතියට යටයි..! – කතානායක

පාර්ලිමේන්තුව තුළ පහරදීම්, තර්ජනය කිරීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන මන්ත්‍රිවරුන් අපරාධ නීතියට යටත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...