එළැඹෙන මැතිවරණය සම්බන්ධයෙන් තීරණ ගැනීමට යාමේදී මේ වන විට සමගි ජනබලවේගය පක්ෂය තුළ දැඩි අවුල් වියවුල් රැසක් ඇතිව තිබෙන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා.
පැවති ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද ප්‍රමාණය අනුව පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද ලක්ෂ 55 ක් ලබාගත්තද මෙවර ඔහුට ලබාගත හැකි වූයේ ඡන්ද ලක්ෂ 45 ක් පමණයි.
ඒ අනුව සමගි ජනබලවේගය පක්ෂයේ ඡන්ද ලක්ෂ 10 ක අඩුවීමක් පෙන්නුම් කරන අතර එය එළැඹෙන මහමැතිවරණයටද සෘජුව බලපාන බවට පක්ෂය තුළ ඇතැම් පාර්ශව සාකච්ඡා කර තිබෙනවා.
ජාතික ජනබලවේගයේ හදිසි නැගිටීම හේතුවෙන් එළැඹෙන මහමැතිවරණයේදී මේ වන විට පාර්ලිමේන්තුවේ සිටින බොහෝ දෙනෙක්ට තම ආසනය අහිමිවීමේ අවධානමක් පවතින නිසාවෙන් එළැඹෙන මහමැතිවරණයට හර්ෂ ද සිල්වා මහතා අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යාමට කණ්ඩායමක් සූදානම් වනවා.
කෙසේවෙතත් ඊයේ (24) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව පක්ෂයේ බහුතරයගේ මතය වී ඇත්තේ යළිත් සජිත් ප්‍රේමදාස මහතාම අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස මැතිවරණයට ඉදිරිපත් කර මැතිවරණය ජයග්‍රහණය කිරීමයි.
නමුත් මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ලැයිස්තුවට බොහෝ දෙනෙක් ඇතුළත්වීමට බලාපොරොත්තුවෙන් සිටීම හේතුවෙන් තවත් ගැටළු රැසක් පක්ෂ අභ්‍යන්තරයේ ඇතිව තිබෙනවා.
ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද සමගි ජනබලවේගය සමග එක්වීමේ සූදානමකින් සිටිනවා.
ඒ අනුව ඔහුගේ නම කොළඹ ලැයිස්තුවට ඇතුළත් කළහොත් පක්ෂයේ ප්‍රභලයින් කිහිප දෙනෙක්ම දැඩි කළකිරීමට ලක්වන බවට පක්ෂ අභ්‍යන්තර තොරතුරු පවසනවා.
එමෙන්ම කලක් විමල් වීරවංශගේ පක්ෂයේ සාමාජිකයෙකු වූ පසුව වාසුදේවගේ පක්ෂයේද නායකයා වී මේ වන විට සමගි ජනබලවේගය පක්ෂයේ ආධාරකරුවෙකු ලෙස කටයුතු කරන නිරෝෂන් ප්‍රේමරත්නද කොළඹ ලැයිස්තුවට ඇතුළත් කිරීමේ සූදානමක්ද පවතිනවා.
පසුගිය මහාමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසන 12 ක් හිමිවූ අතර සමගි ජනබලවේගයට ආසන 6 ක් හිමිවුණා.
ඒ අනුව සජිත් ප්‍රේමදාස, එස්.එම්. මරික්කාර්, මුජිබර් රහුමාන්, හර්ෂ ද සිල්වා, චම්පික රණවක, මනෝ ගනේෂන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවා.
මනාප ලබාගත් පිළිවෙල අනුව එම ලැයිස්තුවේ සිටි අනෙකුත් අය වන්නේ ඒ.එච්. එම්. ෆවුසි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සුමිත් එරන්දික වැලිඅංගේ, ජෙනගන් විනයාර්ගමූර්ති, සුජීව සේනසිංහ, ලොෂාන් ලෙනාර්ඩ් කරුණාරත්න, කණිෂ්ක සේනාරත්න (රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා), ක්‍රිෂාන්ත යෝගදාස්, නිරෝෂන් පාදුක්ක, ජයන්ත ද සිල්වා, අනුරාධ විමලරත්න, සාගර සේනාරත්න, චන්න විකුම්, රණගලගේ අතුලසිරි, මහේෂ් විජයරත්න, ලලිත කොඩිතුවක්කු යන අයයි.
මෙයින් ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර ඒ.එච්. එම්. ෆවුසි එක්සත් ජාතික පක්ෂයට සහය දක්වනවා.
මීට අමතරව පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජගත් කුමාර මහතා මේ වන විට සමගි ජනබලවේගයට සහය දක්වනවා.
ඒ අනුව ඔහුටද සමගි ජනබලවේගය පක්ෂයේ කොළඹ ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබාදුනහොත් තත්ත්වය තවත් බරපතල වනු ඇති.