ඉරානය ඊයේ (01) රාත්‍රියේ විශාල වරදක් සිදුකරගත් බවත්, ඔවුන් ඊට වන්දි ගෙවනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
ඔහු සඳහන් කළේ ඊශ්‍රායල භුමිය ආරක්ෂා කරගෙන, සතුරන්ගෙන් පලිගැනීමට ඊශ්‍රායල වැසියන් සතු අධිෂ්ඨානය ඉරාන පාලන තන්ත්‍රය තවමත් අවබෝධ කරගෙන නොමැති බවයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ඉරානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
ඉරාන හමුදාව විසින් ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් ඊයේ (01) රාත්‍රියේ මිසයිල ප්‍රහාර 200ක් පමණ එල්ල කර තිබුණා.
මෙම ප්‍රහාර වලට මුළු ලෝකයේම අවධානය යොමු වූ අතර අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ප්‍රසිද්ධියේම තමන් ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට සහයෝගය පල කරන බව පැවසුවා.
ඉරාන ප්‍රහාර මාලාවට සුළු වෙලාවකට පෙර ඊශ්‍රායලය පුරා අනතුරු ඇඟවීමේ සයිරන් නාද කෙරුණු අතර ජෙරුසලමේ සහ ටෙල් අවිව් අගනුවර පිපිරීම් වාර්තා විය.
ඊශ්‍රායල රජය පසුව නිවේදනය කළේ ඉරානයේ මිසයිල ප්‍රහාර බහුතරයක් සාර්ථකව මැඩ පැවැත්වූ බවයි.
ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි සදහන් කළා.
ආරක්‍ෂිත ස්ථාන වල රැදී සිටි ඊශ්‍රායල ජනතාවට ඉන් පිටව යා හැකි බවද ඔහු පවසා තිබෙනවා.
ප්‍රහාර වල බලපෑම හේතුවෙන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ඉරාකය සහ ලෙබනනය වහාම සිය ගුවන් කලාප වසා දැමීමට කටයුතු කළේ ය.
පසුගිය වසරේ ඔක්තෝමබර් 7 වැනිදා සිට ගාසා තීරයේ හමාස් සංවිධානය සමග යුධ වදින ඊශ්‍රායලය, පසුගිය සැප්තැම්බර් 17 වැනිදා සිට ලෙබනනය ඉලක්ක කරගනිමින් අඛණ්ඩව ප්‍රහාර දියත් කළා.
ඊශ්‍රායලය හිස්බුල්ලා සටන්කාමීන් බහුලව භාවිත කරන පේජර් ඇතුළු සන්නිවේදන උපකරණ දුරස්ථව පුපුරුවා හරිමින් එල්ල කල සුක්ෂම ප්‍රහාරයෙන් පුද්ගලයින් 3000කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.
ඉන් අනතුරුව ඊශ්‍රායලය, විසින් වසර 30කට වැඩි කාලයක් හිස්බුල්ලා සංවිධානය මෙහෙයවූ හසන් නසරල්ලා ඝාතනය කළා.
ඊට මාස කිහිපයකට පෙර ඊශ්‍රායලය සිදුකල සංවිධානාත්මක ප්‍රහාරයකින්, ඉරාන ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීමට ඉරානයට පැමිණ සිටි හමාස් සංවිධානයේ නායක, ඉස්මයිල් හානියේ ජීවිතක්ෂයට පත්වුණා.
පසුගිය අප්‍රේල් මාසයේදී ඊශ්‍රායලය, සිරියාවේ ඉරාන කොන්සියුලර් කාර්යාලයට එල්ල කල ප්‍රහාරයෙන් ඉරාන හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මිය ගියා.
ඊයේ සිදුකළ ප්‍රහාරයෙන් පසුව ඉරානය සදහන් කළේ, ඊශ්‍රායලය හමාස් සහ හිස්බුල්ලා නායකයින් ඝාතනය කිරීමට ප්‍රතිචාර දක්වමින් සිය හමුදා ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාර දියත් කල බවයි.