2029 වසර වන විට ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ මින් පෙර ළඟා කරගැනීමට අසීරු වූ ඉලක්කද සපුරා ගත හැකි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසනවා.
2024 ජාතික සංචාරක සම්මාන උළෙලේදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ සංචාරක ක්ෂේත්‍රයේ මේ දිනවල දක්නට ඇති පිබිදීමක් පෙන්නුම් කර ඇත්තේ 2018 වසරෙන් පසු පළමු වතාවට බවයි.
2024 වර්ෂය අවසාන වන විට මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 2.1ක් වනු ඇති අතර ඉන් ලැබෙන ආදායම ඩොලර් බිලියන 3 ඉක්මවනු ඇති බවට අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.
බුද්ධික හේවාවසම් මහතා තවදුරටත් සඳහන් කළේ මේ වන විට හෝටල්වලට කාමර වෙන්කරවා ගැනීමේ ප්‍රමාණ නැවත 80% දක්වා ඉහළ යමින් පවතින අතර එය වසර පහකට ආසන්න කාලයක් තිස්සේ සංචාරක ක්ෂේත්‍රයේ නොතිබූ ප්‍රබෝධමත් මට්ටමක් ඉස්මතු කරන බවයි.
සංචාරක ව්‍යාපරයේ හොඳම වසර ඉදිරියෙන් ඇති බවත් මේ වසරේ ශීත සෘතුව, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන බවත් ඔහු පවසා තිබෙනවා.
සංචාරක ක්ෂේත්‍රයෙන් මේ වන විට ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය 11% ක් වන අතර එය නිවැරදි ප්‍රතිපත්ති සහ සාමූහික කැපවීම සමඟ 15%-20% දක්වා වර්ධනය කළ හැකි බවද බුද්ධික හේවාවසම් මහතා මෙහිදී තවදුරටත් අවධාරණය කළා.