ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන අංශයට අන්තර්ජාලයෙන් භාණ්ඩ අලෙවි කරන වෙබ් අඩවිවල ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා.
ඇමෙරිකාව චීනයට 145%ක තීරුබදු ප්‍රතිශතයක් පනවා ඇති පසුබිමක, ටෙමූ, අලිබාබා සහ අලි එක්ස්ප්‍රස් යනාදී වෙබ් අඩවිවල භාණ්ඩ විකිණීමට ඇති විවිධාකාර විද්‍යුත් උපාංග ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා ප්‍රවාහනය කිරීමට මෙලෙස අවස්ථාව ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන අංශ වන ශ්‍රී ලංකන් කාර්ගෝ ආයතනයේ ප්‍රධානී චමින්ද පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයෙන් (IATA) ශ්‍රී ලංකාවට ලැබුණු CEIV ලිතියම් බැටරි ප්‍රවාහනය කිරීමේ සහතිකය පිළිබඳ දැනුම්දීමට පැවති මාධ්‍ය හමුවකදීයි.
චීන වෙළඳ භාණ්ඩ වෙබ් අඩවිවලින් අන්තර්ජාලයෙන් සිදුකරන භාණ්ඩ මිලදී ගැනීම් සිංගප්පූරුව හරහා හෝ හොංකොං හරහා ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හෝ මැදපෙරදිග වෙත ගමන් කරන්නේ නම්, අපට එහි විශාල අවස්ථාවක් තිබෙන බවයි චමින්ද පෙරේරා මහතා පවසන්නේ.
සාමාන්‍යයෙන් තෙමූ (Temu) අලිබබා (Alibaba) සහ අලි එක්ස්ප්‍රස් (Ali Express) වැනි වෙබ් අඩවිවල මාර්ගගත මිලදී ගැනීම් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය හරහා සිදු කෙරෙන අතර දැනට ගුවන් හරහා සිදුකරන භාණ්ඩ ප්‍රවාහනයේ වැඩිම ආදායමක් ලබන්නේ මෙලෙස අන්තර්ජාලයේ සිදු කරන වෙළඳ ගනුදෙනුයි.
එම ක්ෂේත්‍රය 20% ක වේගයකින් වර්ධනය වන අතර ඉදිරි වසර පහ තුළ එය වසරකට 9% කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
චීනයේ ඊ භාණ්ඩ වෙළඳපොළ ලොව විශාලතම භාණ්ඩ වෙළඳපළ වන අතර, 2024 දී එහි වටිනාකම ආසන්න වශයෙන් ඩොලර් ට්‍රිලියන 3.5 ක් වුණා. 2027 වන විට එය ඩොලර් ට්‍රිලියන 4 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.