අඟලවත්ත – පිඹුර රෝහලේ මීට මාස තුනකට පෙර ඉදිකරන ලද තාවකාලික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය මේ වන විට ගලවාගෙන ගොස් ඇතිබවට තොරතුරු වාර්තා වනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිකරන ලද මෙම තාවකාලික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය පසුගිය මැයි මස 12 වනදා අඟලවත්ත – පිඹුර රෝහල වෙත භාර දුන්නා.
කෙසේ වෙතත් පසුගිය මාස 3 ටම එම ස්ථානයේ කිසිදු කොවිඩ් රෝගියෙකුට ප්‍රතිකාර කර නොමැති අතර මේ වන විට එම තාවකාලික ඉදිකිරීම හා එහි බඩුබාහිරාදිය එම ස්ථානයෙන් ඉවත්කරගෙන ගොස් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසන්නේ එම තාවකාලික කොවිඩ් මධ්‍යස්ථානය එම ස්ථානයෙන් ඉවත් කළද එහි තුළ තිබූ සියලු බඩුබාහිරාදිය එම රෝහලටම භාරදුන් බවයි.
රෝහලට භාරදුන් අනෙක් බඩුබාහිරාදිය රෝහල තුළ විදිමත්ව ස්ථාන ගත කලද කොවිඩ් මධ්‍යස්ථානයේ තිබූ ඇඳන් 40 ස්ථානගත කිරීමට නිසි ස්ථානයක් නොමැතිකමින් එළිමහනේ දමා තිබූ එම ඇඳන්වල ඡායාරූප සමාජ මාධ්‍ය තුළ පලකර වැරදි මතයක් සමාජගත කිරීමට උත්සහ දරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආණ්ඩුවේ කිසිදු මුදලක් භාවිතයට නොගත් බවද සංජීව එදිරිමාන්න මහතා පවසනවා.
කෙසේ වෙතත් මැයි 12 වනදා මෙම ව්‍යාපෘතිය අවසන් කර පිඹුර රෝහලට තාවකාලික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය භාරදෙන අවස්ථාවේදී සංජීව එදිරිමාන්න මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ බැසිල් රාජපක්ෂ මහතාට ස්තූතිය පලකර තිබුණද මේ වන විට එම ස්තූති කිරීමේ වාක්‍ය ඉවත්කරගෙන තිබීමද විශේෂත්වයක්.


පෙර පැවති කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය



කොවිඩ් මධ්‍යස්ථානය පැවති ස්ථානයේ වර්තමාන තත්ත්වය


