ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ආනයනය කර රුපියල් කෝටි ගණනාවක් වටිනා වාහන ව්‍යාජ දත්ත ඇතුළත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලියාපදිංචි කර ඇතැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයට කැඳවූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් ඇතුළු හයදෙනකු රුපියල් මිලියන දහය බැගින් වූ ශරීර ඇප බැඳුම්කර දොළොහක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (29) නියෝග කළා.
අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළක්වන නියෝගයක් ද පනවා හිටපු නියෝජ්‍ය කොමසාරිස් බන්දුල ජයසිංහ ඇතුළු හයදෙනකු එලෙස ඇප මත මුදාහල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශනවලට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකිරීමේ කොන්දේසි ද එම සැකකරුවන්ට පැනවා තිබෙනවා.
එම සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා ඉතා බරපතළ වන බැවින් හා සාක්ෂිකරුවන් ඇපමත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශනවලට බාධා විය හැකි බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගයක් කරන්නැයි විමර්ශන මෙහෙය වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්යක්ෂ (නීති) අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය අධිකරණයෙන් ඉල්ලා තිබුණා.
2005 වසරේ දී මුල්වරට ලියාපදිංචි කළේ යැයි කියන එලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ආනයනය කර ව්‍යාජ තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කර ඇතැයි කියන අති සුඛෝපභෝගී වාහන 178ක් අතරින් එක් වාහනයක් සැබැවින්ම ලියාපදිංචි කර ඇත්තේ 2015 වසරේදී බවත් එකී වාහනයට අංක තහඩුව නිකුත්කර ඇත්තේ 2019 වසරේදී බවත් සහකාර අධ්යක්ෂ අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය අධිකරණයට පැවසුවා.
එම වාහනයක හිමිකරුවකු යැයි පැවසෙන අටවන සැකකරුගේ නිවස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කුඩා ශාඛා කාර්යාලයක් බඳු වන්නේ යැයි ද පැවසූ අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය එහි තිබූ වාහන ලියාපදිංචි කිරීමට අදාළ මෝටර් රථ දෙපාර්තමේන්තුවට අයත් ලිපිගොනු හතක් සොයා ගැනීමට හැකිවී ඇතැයි ද පැවසුවා.
එලෙස නිසි ලෙස රේගුව මගින් නිෂ්කාශනය නොකිරීම නිසා අවම වශයෙන් රුපියල් කෝටි 178කට අධික මුදලක් රජයට අහිමි වී ඇතැයි ද පැවසූ අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය එම වංචනික ලෙස ලියාපදිංචි කිරීමට අදාළ ලිපිගොනු රැසක් සැකකරුවන් අතුරුදන් කොට ඇතැයි ද අධිකරණය හමුවේ පවසා සිටියා.
එම වාහනය ලියාපදිංචි කර ඇතැයි පැවසෙන සමයේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයාගෙන් හා මෙම සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ඇති දැයි අධිකරණය එහිදී අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන්ගෙන් හා සහකාර අධ්‍යක්ෂවරියගෙන් විමසා සිටි අතර එවැනි ප්‍රකාශ සටහන් කිරීමක් මෙම නඩුවට අදාළව මෙතෙක් සිදුකර නොමැති බව විමර්ශන නිලධාරීන් පවසා තිබෙනවා.
සැකකරුවන්ගෙන් හා එම සිදුවන සමයේ රාජකාරි කළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර සිය සේවාදායකයන්ට එරෙහිව චෝදනාපත්‍රයක් හෝ අධිකරණයට ඉදිරිපත් නොකර ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඉල්ලා සිටීම නීතියට පටහැනි ක්‍රියාවක් වන්නේ යැයි විවෘත අධිකරණය හමුවේදී පැවසූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ සහ නීතිඥ හෆිල් පාරිස් යන මහත්වරුන් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය කළ එම ඉල්ලීමට දැඩි විරුද්ධත්වය දක්වා තිබුණා.
රජය විසින් සම්මත කළ දූෂණ විරෝධී පනත අනුව සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකිරීමකින් තොරව අල්ලස් කොමිෂන් සභාව කටයුතු කර ඇති බවත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීම අනුව තම අධිකරණය සැකකරුවන්ට නොතිසි නිකුත් කළ බවත් පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කර තිබෙනවා.
එම විමර්ශනවල ප්‍රගතිය ලබන පෙබරවාරි 21වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළා.