27.8 C
Colombo
Thursday, April 25, 2024

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමේදී තීරණාත්මක බීජිං සාධකය

- Advertisement -

වඩාත් කාර්යක්ෂම ණය විසඳුම් යාන්ත්‍රණයක් ඇතිකිරීම සඳහා ණය අර්බුදයට මුහුණපා ඇති රටවල්වලට බලපෑම් සිදුකරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසනවා.
වොෂින්ටහි පැවැත්වෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සැසියට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පළ කළා.

එහිදී ශ්‍රී ලංකාව ඇතුළුව ණය අර්බුදයට මුහුණපා ඇති රටවල් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද ඇය වැඩිදුරටත් අදහස් පළ කර තිබුණා.
“වඩාත් කාර්යක්ෂම ණය විසඳුම් යාන්ත්‍රණයක් ඇතිකිරීම සඳහා අප බලපෑම් කරනවා. නිශ්චිත පුරෝකථනයක් සිදුකළ හැකි මාර්ගෝපදේශය සහිත රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලු ණය හිමියන්ට සමානව සැලකුමක් සහිත පොදු යාන්ත්‍රණයක් තමයි අපිට අවශ්‍ය වන්නේ. ඒ වගේම එවැනි ණය ආදායකයන්ගේ සම්බන්ධීකරණයක් ශ්‍රී ලංකාව වැනි මැදි ආදායම් සහිත රටවල් වෙත ව්‍යාප්ත කිරීම පිළිබඳව ද අප සලකා බලනවා.”
“ඒ අනුව අපට මේ සතියේ කළ යුතුදේ බෝහෝයි. කඩිනම් අවශ්‍යතාව හඳුනාගෙන, එක්ව කටයුතු කිරීමෙන් මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිතවලට වෙනසක් ගෙනආ හැකි බව අප වටහා ගත යුතුයි.”

මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහාය වන්නැයි “පැරිස් සමාජය” චීනයෙන් හා ඉන්දියාවෙන් කළ ඉල්ලීමකට දෙපාර්ශ්වයම මෙතෙක් ඔවුන්ගේ ස්ථාවරය දන්වා නැතැයි වාර්තා වෙයි.
පැරිස් සමාජයේ සාමාජික ලැයිස්තුවට චීනය හා ඉන්දියාව අයත් නොවෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම ලබාගැනීමේ ප්‍රධාන කොන්දේසියක් වන්නේ මෙරට ද්විපාර්ශ්වික ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එකඟ කරවාගැනීමය.
ණය බරින් පීඩාවට පත් රටවල් මුහුණ පා ඇති දුෂ්කරතා මඟ හරවාගැනීම සඳහා තිරසාර විසඳුම් ඉදිරිපත් කිරීමට පිහිටුවාගෙන ඇති පැරිස් සමාජය මේ වනවිට ශ්‍රී ලංකාවට සහාය වීමට මැදිහත් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහාය දෙන්නැයි පැරිස් සමාජය චීනයෙන් හා ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබුණි.
රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරන්නේ මෙම ගැටලුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සමීප සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරන ලෙස පැරිස් සමාජය එම රටවලින් ඉල්ලා ඇති බවය.
වොෂින්ටන්හි පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවේදී පැරිස් සමාජයේ නියෝජිතයින් ඉන්දීය නියෝජිතයින් හමුවී ඒ පිළිබඳව විමසා ඇතැයිද එම පුවත් වාර්තාවේ සඳහන් විය.

කෙසේවෙතත් චීන නියෝජිත පිරිසක් වොෂින්ටන් වෙත පැමිණ නොසිටීම හේතුවෙන් පැරිස් සමාජ නියෝජිතයින්ට ඔවුන් හමුවීමට හැකිවී නැහැ.
ශ්‍රී ලංකාවේ ප්‍රධානම ද්විපාර්ශ්වික ණය හිමියන් වන්නේ චීනය, ඉන්දියාව සහ ජපානය වෙයි.
දැනටමත් ජපානය ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමට සිය පාර්ශ්වයෙන් සහාය දැක්වීමට සූදානම් බව ප්‍රකාශ කර තිබුණි.

පැරිස් සමාජයද ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳාගැනීම සම්බන්ධයෙන් මැදිහත් වීමට සූදානම් වුවද ඉන්දියාව හා චීනය පැරිස් සමාජයේ සාමාජික ලැයිස්තුවට අයත් නොවේ.
එහි සාමාජිකයින් වන්නේ ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, බ්‍රසීලය, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය, නෙදර්ලන්තය, නෝර්වේ, රුසියාව, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය හා අමෙරිකාවයි.

මේ අතර ශ්‍රී ලංකා රජය චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කර ඇති අතර එය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින රට යළි ගොඩ නැගීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙල සඳහා වන වැදගත් පියවරක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළේය.
ජනාධිපති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේ, ඔක්තෝබර් 16 ආරම්භ වන චීන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයෙන් පසුව මූලික සාකච්ඡා දිගටම කරගෙන යනු ඇති බවයි.

අර්බුදකාරී ශ්‍රී ලංකාව එහි ණය හිමියන් සමග කරන සාකච්ඡා තුළ බීජිං භූමිකාව ඉහල යන ගෝලීය ණය පීඩාවට ණය දෙන්නන් ප්‍රතිචාර දක්වන ආකාරය පිලිබඳ පරාමිතියක් බවට පත්ව ඇත.
පසුගියදා ටෝකියෝ සංචාරය නිමවා ආපසු පැමිණි වික්‍රමසිංහ පැවසුවේ චීනය සමඟ සාකච්ඡා සඳහා මැදිහත් වීමට ජපාන රජය එකඟ වූ බවයි.

“චීනය පුරාණ කාලයේ සිටම අපට සහයෝගය දක්වන අතර මෙම දුෂ්කර කාලවලදී ඔවුන් එයම කරනු ඇතැයි අපි විශ්වාස කරමු,” වික්‍රමසිංහ පැවසීය.
සිය තීරය සහ මාර්ග යටිතල පහසුකම් ව්‍යාපෘතිය හරහා ඩොලර් බිලියන 7ක් පමණ ශ්‍රී ලංකාවට ණයට දී ඇති චීනය, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ සැලකිය යුතු නව ආධාර ලබා දීමට ශ්‍රී ලංකාව මීට පෙර කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීය.

ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට උපකාර කිරීමට චීනය එකඟ වී ඇති නමුත් මෙතෙක් කිසිදු ණය ප්‍රතිව්‍යුහගත සැලැස්මක් සඳහා එකඟ වී නැත.
ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 51 ක විදේශ ණය ගෙවීම අත්හිටුවා ඇති අතර, එයින් ඩොලර් බිලියන 28 ක් 2027 වන විට ආපසු ගෙවිය යුතුයි.

වසර හතරක් සඳහා ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පැකේජයක් සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මූලික එකඟතාවයකට පැමිණ ඇතත් එය සම්පූර්ණ කිරීම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ණය හිමියන්ගේ සහතික මත රඳා පවතී.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ පසුගිය සතියේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පියවර ගෙන ඇති බවයි.

සාකච්ඡා “ඉදිරියට යනවා,” වීරසිංහ පැවසීය. එහෙත් ඔහු සාකච්ඡා වල ප්‍රගතිය ගැන අදහස් පල කිරීම ප්‍රතික්ෂේප කළේ වෙලඳපොලවලට බලපෑම් නොකිරීමේ ʺනිහඬතාවක්ʺ පවත්වා ගැනීමට තමන් කැමති බව පවසමිනි. එකඟතාවකට පැමිණි පසු ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන බවද ඔහු පැවසීය.

වරායක්, ගුවන්තොටුපළක් ඇතුළු යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව පසුගිය දශකය තුළ චීනයෙන් විශාල වශයෙන් ණය ලබාගෙන ඇත. ණය ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට ව්‍යාපෘති අපොහොසත් වූ අතර එය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු විය.
චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියා නොවේ. එය ජපානයට සහ ආසියානු සංවර්ධන බැංකුවට පසුව ශ්‍රී ලංකාවේ ණයවලින් 10%ක් පමණ වේ. කෙසේ වෙතත්, එහි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බීජිනයේ අනුමැතිය තීරණාත්මක ය. අතිරේක ණයක් ලබා දුන්නද, චීන කිසිදු ප්‍රතිව්‍යුහගත කිරීමකට එකඟතාව පළ කර නොමැත.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...