සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිකුත් කරනු ලැබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බවට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් අද (13) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවට සම්බන්ධ චූදිතයන් තිදෙනෙකුට විරුද්ධව තවදුරටත් නීති මඟින් කටයුතු කිරීමට අදහස් නොකරන බව දන්වමින් නීතිපති පාරින්ද රණසිංහ මහතාගේ අත්සනින් ජනවාරි 27 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කර තිබුණා.
මෙසේ නිදහස් කිරීමට හැකි බව දැනුම් දී තිබුණේ යුද හමුදා මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම, උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යන සැකකරුවන් තිදෙනායි.
එම ලිපිය ලැබී දින 14ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග දැනුම් දිය යුතු බවද එහි සඳහන් වුණා.
එම දින 14 අදින් අවසන් වීමට නියමිතව තිබුණු අතර අද (13) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කළ මෝසමක් මඟින් ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ ඩී චතුරිකා සිල්වා මහත්මිය ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබුවා.
එහිදී, අධිකරණය හමුවේ පෙනී සිටි, පොලිස් අධිකාරී කීර්තිසිංහ මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුවට අදාල සියලු සාක්කිවල සහ සටහන්වල උදෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ බවයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව ඉදිරිපත් කළ විමර්ශන සාරාංශ ඇතුළත් වාර්තාවක් සලකා බලමින් ජනවාරි 27 වන දින යොමු කළ ලිපියට අනුව ක්‍රියා නොකරන ලෙස නීතිපතිවරයා පෙබරවාරි 11 වන දින දැනුම් දුන් බවද අධිකරණය හමුවේ සඳහන් කළා.
අද දින මෝසමක් මඟින් නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ විමර්ශන නිලධාරීන් වන සහකාර පොලිස් අධිකාරී කීර්තිසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉලංගසිංහ හා පොලිස් සැරයන් සිල්වා යන අය අධිකරණය හමුවේ පෙනී සිටියා.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා ලිඛිතව දැනුම් දුන් බව අධිකරණය හමුවේ පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව නීතිපති උපදෙස් අනුව වැඩිදුර කරුණු දැක්වීම සඳහා දිනයක් ඉල්ලා සිටියා.
ඒ අනුව, මෙම නඩුව මීට පෙර කැඳවන දිනය ලෙස සටහන් කර තිබුණු 2025 මැයි 30 වනදාම නඩුව යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත් ඒ ඩී චතුරිකා සිල්වා නියෝග කළා.
නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (12) නිවේදනය කර තිබුණේ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ නඩුවකට අදාළව පුද්ගලයින් තිදෙනෙකු නිදහස් කරමින් යොමු කළ ලිපිය යළි කැඳ වූ බවට පළවන වාර්තා අසත්‍ය බවයි.