2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.
මෙම නඩුව අද(19) පෙරවරුවේ කැඳවිමට නියමිතයි.
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ” w15” හෝටලයක ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය පෙබරවාරි 27 වැනිදා නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
මෙම නියෝගයත් සමග දේශබන්දු තෙන්නකෝන් අධිකරණය මගහරිමින් සැගවි සිටිම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලිම අනුව මාර්තු (11)වන දින මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් විසින් විවෘත වරෙන්තුවක්ද නිකුත් කළා.
එවන් පසුබිමක තමා අත්අඩංගුවට ගැනිම වළක්වාලන ලෙස ඉල්ලමින් දේශබන්දු තෙන්නකෝන් පසුගිය මාර්තු (10) සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව එම රිට් පෙත්සම පසුගිය සදුඳා (17) වන දින විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය කටයුතු කළා.
එහිදී දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
මේ අතර දේශබන්දු තෙන්නකෝන්ට අයත් බව පැවසෙන අතුරුගිරිය හෝකන්දර ප්‍රදේශයේ නිවසක් ඊයේ (18) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් එහි තිබී විදේශි විස්කි බෝතල් තොගයක් සහ තෙන්නකෝන්ගේ නිල ගිනිඅවියද සොයා ගෙන තිබුණා.
එවැනි පසුබිමක අද පෙරවරුවේ ඔහු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.