32 C
Colombo
Friday, March 29, 2024

වතුකරය අල්ලන්නට ඉන්දියාවට බැරිද?

- Advertisement -

නේපාලයේ හා ශ්‍රී ලංකාවේ ද සිය පක්ෂ දේශපාලන කටයුතු ආරම්භ කරන බවට භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායකයකු වන නිවාස ඇමැති අමිත් ෂා විසින් කරන ලද ප්‍රකාශය මේ වනවිට තිබෙන්නේ දැඩි ආන්දෝලනයකට තුඩුදීය. නෛතික තලයේදී එවැනි විදේශීය පක්ෂයකට ශ්‍රී ලංකාවේ ලියාපදිංචිය ලබාගත නොහැකි යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාධ්‍යට ප්‍රකාශයක් ද නිකුත් කර තිබිණි. කෙසේ වෙතත් බී.ජේ.පී කතාව එවැනි හුදු නෛතික තර්කයකින් පමණක් සෑහිය හැකි එකක්ද යන්න වැදගත්ය. ඊට හේතුව නම් චීන ඇමෙරිකා ඉන්දු ත්‍රෛපාර්ශ්වීය බලපෑම අඩු නැතිව ශ්‍රී ලංකාවට එල්ල වන පරිසරයක මෙම ප්‍රකාශය තේරුම්ගැනීමට සිදුවීම නිසාය. අනෙක් අතට ලංකා දේශපාලන ඉතිහාසයෙහි සෝල්බරි ආණ්ඩුක්‍රමය තරම් ඈතකදී ඉන්දීය විශේෂණය යටතේම සැලකිය යුතු ජයක් ලබාගත් දේශපාලන පක්ෂයක් ලංකාවේ තිබූ නිසාය.

1939 ජූලි 15 වැනිදා ලංකා ඉන්දීය කොංග්‍රසය ආරම්භ කෙරුණේ වතු කම්කරුවන්ගේ වෘත්තිය සමිතියක් හැටියටය. 1947 මහමැතිවරණයට ලංකා ඉන්දීය කොංග්‍රසය ද තරග කළ අතර ආසන 95කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 9ක් හෙවත් 10%ක් වැනි බලයක් හිමි කරගැනීමට ඊට හැකි විය. නුවරඑළිය ආසනයෙන් තරග කළ එහි සභාපතිවරයා ද ජයගත්තේය. ඔහු නම් අන් කවරෙකුවත් නොව වතුකරයේ දශක හතරකට වැඩි කාලයක් තිස්සේ සිය බලාධිපත්‍ය විහිදුවාගෙන සිටි සෞම්‍යමූර්ති තොණ්ඩමාන්ය. ඡන්දයෙන් පත් වූ සෙස්සෝ නම් එස්.එම් සුබ්බයියා(බදුල්ල), ජී.ආර් මෝතා(මස්කෙලිය), කේ.රාජලිංගම්(නාවලපිටිය), කේ.කුමාරවේලු(කොටගල), සී.වී වේලුපිල්ලේ(තලවකැලේ) හා ඩී.රාමනුජම්(අලුත්නුවර)ය. අප කවුරුත් දන්නා ලංකා කම්කරු කොංග්‍රසය යන නම ලංකා ඉන්දීය කොංග්‍රසයට ලැබුණේ 1950දීය. ඒ වෘත්තියෙන් නීතිඥයෙන් මෙන්ම අයිතිවාසිකම් ක්‍රියාකාරිකයන් දෙපළක් වූ පෙරි සුන්දරම් හා ජී.ආර් මෝතාගේ නායකත්වයෙනි.

කෙසේ වෙතත් තොණ්ඩමාන් විසින් මෙහෙයවනු ලබන ලංකා ඉන්දීය කොංග්‍රසයේ ජය සමග එහි දේශපාලන විභවය ගැන පාලක එක්සත් ජාතික පක්ෂයට ද හොඳ අවබෝධයක් තිබුණේය. වතුකරයේ දෙමළ ඡන්ද උඩරට සිංහලයන්ට ව්‍යවස්ථාදායකය නියෝජනයට බාධාවක්ය යන මතය පැතිරෙන්නට ගත්තේ ද මේ සමගය. වතු කම්කරු ඡන්ද ව්‍යාපාරය මාක්ස්වාදී ව්‍යාපාරයක් දක්වා වර්ධනය විය හැකි යැයි ද සේනානායකවරු කල්පනා කළහ. උත්ප්‍රාසජනක කාරණය වන්නේ ජී.ජී පොන්නම්බලම් පවා මෙම මතය දැරීමය. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ ශ්‍රී ලාංකිකයන්ට සර්වජන ඡන්ද බලය ලැබුණැයි වැහැරුව ද එය වතුකරයේ දෙමළ ප්‍රජාවට ලැබුණේ නැත. කුලවාදී කොළඹ දෙම`ඵන් ද ඡන්ද කෑදර උඩරට සිංහලයන් ද ඊට හේතු විය. එයින් වසර අටකට පසුව 1939 දී උඩරට දෙමළ ජනයාගෙන් එක් කොටසකට ඡන්ද බලය හිමි විය. කෙසේ වෙතත් දෙමළ ජනයාට එරෙහි විරෝධය වර්ධනය වූ අතර එහි ප්‍රතිපලය වූයේ 1948 දී ලංකා පුරවැසි පනත ගෙනඒමය. තොණ්ඩමන් මෙන්ම මාක්ස්වාදීහු ද මෙම පියවර දැඩි සේ විවේචනය කළහ. සිංහල අන්තවාදීන් යැයි ආණ්ඩුවට චෝදනා කළ චෙල්වනායගම් පොන්නම්බලම්ව නම්කළේ ද්‍රෝහියා හැටියටය.


සිය අනන්‍ය බලය අහිමි කිරීමෙන් පසු තොණ්ඩමාන් කළේ වතුකරයේ දේශපාලනය කිරීමට කේවල් කිරීම යොදාගැනීමය. ඒ අනුව 1960 මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වීමට තොණ්ඩමාන්ට හැකි විය. එහෙත් රාජාසන කතාව පැරදීමෙන් ආණ්ඩු බලය ශ්‍රීලනිපයට අහිමි විය. 1965 මහමැතිවරණයේදී තොණ්ඩමන් සම්බන්ධ වූයේ එක්සත් ජාතික පක්ෂයටය. එයින් ද ජයගෙන මන්ත්‍රීධුරයක් ලැබුව ද 1970 සිට 1977 දක්වා සත්වසරක් පාර්ලිමේන්තුවෙන් පිටතට විසිවන්නට තොණ්ඩමාන්ට සිදුවිය. ඒ 1970 මහමැතිවරණයේදී එ.ජා.පය ලද පරාජය සමගය. මෙම සත් අවුරුදු කාලයේදී උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සන්ධානයකට එන්නට ලංකා කම්කරු කොංග්‍රසය පියවර ගත් අතර එහි ප්‍රතිපලය වූයේ දෙමළ එක්සත් පෙරමුණයි. පෙරමුණේ නායකයන් තිදෙනාගෙන් එක් අයකු වූයේ ද සෞම්‍යමූර්ති තොණ්ඩමාන්ය. 1975 දී දෙමළ එක්සත් පෙරමුණ ස්වාධීන අනාගාමික නිදහස් වෙනම රාජ්‍යක් පිළිබඳව අදහස අවධාරණය කළ අතර දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (ටී.යූ.එල්.එෆ්) හැටියට ප්‍රතිනාමකරණය ද විය. සෞම්‍යමූර්ති තොණ්ඩමන් මේ නව දිශානතියට ගමන්කිරීමට කැමැති නොවීය. ඒ නිසා ඔහු කළේ සන්ධානයට ආයුබෝවන් කීමය.

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් ගැලවුණු තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසය නැවතත් 1977 මහමැතිවරණය වනවිට එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන්නට විය. එය ලංකා කම්කරු කොංග්‍රසය බලවත් කරන්නට සමත් වූ පියවරකි. 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ තේරීම් කාරක සභාවේ නියෝජනයකින් නොනැවතුණු තොණ්ඩමාන්ට කැබිනට් ඇමැතිකමක් ද හිමි වූයේය. ඉන්පසුව ජේ.ආර් ජයවර්ධන, ආර්.ප්‍රේමදාස හා චන්ද්‍රිකා කුමාරණතුංග යන ජනාධිපතිවරුන් යටතේ සෑම කැබිනට්ටුවකම ඉඩක් තොණ්ඩමන්ට වෙන් විය. සෞම්‍යමූර්ති 1994 චන්ද්‍රිකාගේ කැබිනට්ටුවට ආවේ තනිව නොවේ. තම මුණුබුරා වූ ආරුමුගම් තොණ්ඩමාන් ද පාර්ලිමේන්තුවට කැඳවාගෙනය. ආරුමුගම් තොණ්ඩමාන් රාජකීය විදුහලට ගිය ද උපත ලැබුවේ දකුණු ඉන්දියාවේ පට්ටමංගල් ගමේය. 1999 වර්ෂයේ දී සෞම්‍යමූර්ති අභාවප්‍රාප්ත වීමත් සමඟ ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයත් ඔහු දැරූ වතු යටිතල පහසුකම් කැබිනට් ඇමැතිධුරයත් ආරුමුගම්ට හිමිවූයේ ඒ වනවිට ලංකා කම්කරු කොංග්‍රසය අත්පත් කරගෙන සිටි රජුන් තනන්නාගේ භූමිකාව නිසාය. රජුන් තනන්නාගේ භූමිකාව පවරාගත්ත ද ඒ රාජකීය ගමනේ නායකයන් බිහිකිරීම පරම්පරාවට සින්නකිරීම තොණ්ඩමාන්ලාගේ ද සිරිත විය. 2015 මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසුව බිහි වූ යහපාලන ආණ්ඩුවට ද තොණ්ඩමාන් ඉව ඇල්ලුවේය. එහෙත් එය සාර්ථක නොවූයේ තොණ්ඩමාන්ලාගේ තනි ඒකාධිකාරයට අභියෝගයක් හැටියට දිගම්බරම්ලා ද ඉදිරියට පැමිණි හෙයිනි. කෙසේ වෙතත් 2019 පොහොට්ටු ආණ්ඩුව හදද්දී වතු යටිතල පහසුකම් ඇමැතිකම ගන්නට ආරුමුගම් තොණ්ඩමාන්ට හැකි විය. එහෙත් නව රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිකම ලබා වසරක් වැනි කෙටි කාලයකදී දිවි ගමනට ආයුබෝවන් කීමට සෞම්‍යමූර්ති තොණ්ඩමාන්ගේ මුණුබුරාට සිදුවිය. එහෙත් පක්ෂයේ නායකත්වය ගියේ තොණ්ඩමාන්ලාගෙන් පිටට නොවේ. තොණ්ඩමාන් ජීවත්ව සිටින තෙක් පක්ෂයේ මහලේකම්කම හෙබ වූ අනූෂා සිවරාජා නියෝජ්‍ය නායක කර මහලේකම් තනතුරට තවත් තොණ්ඩමාන් කෙනෙකුම පත්කෙරුණේ ඒ අනුවය. ඒ ජීවන් තොණ්ඩමාන්ය. ඔහු අන් කවරෙකුවත් නොව ආරුමුගම් තොණ්ඩමාන්ගේම පුත්‍රයාය.

1994 නොවැම්බර් 9 උපත ලැබූ ජීවන් මේ පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරයා වූයේ පසුගිය මහමැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මනාප එක්ලක්ෂ නවදාහක් ලබාගනිමිනි. චෙන්නායිහි අධ්‍යාපනය ලබන අතරේම කම්කරු කොංග්‍රසයේ යොවුන් බලකායට අණ දුන් ජීවන් යනු වැඩවසම් පවුල්වාදයේ නූතන පුරුකකි. මෙරට වතු යායක් හිමිකරගත් පළමු ඉන්දීය සංක්‍රමණිකයා හැටියට සැලකෙන්නේ ජීවන්ගේ මී මුත්තාගේ පියාය. එනම් සෞම්‍යමූර්ති තොණ්ඩමාන්ගේ පියා වූ කරුපයියා තොණ්ඩමාන්ය. ටී.සභාරත්නම් විසින් රචිත Out of Bondage- The Thonadaman Story නමැති කෘතියේ මෙම ඉතිහාසය සවිස්තරව දැක්වේ. තමා දේශපාලනයට පැමිණියේ රජකු හෝ රජුන් තනන්නකු වීමට නොවේ යැයි ජීවන් තොණ්ඩමාන් පවසා තිබිණ. එහෙත් කොවිඩ් 19 සෞඛ්‍ය නිර්දේශ තඹයකට මායිම් නොකරමින් තම පියාගේ අවමඟුල දේශපාලන මඟුලක් කරගැනීමෙන්ම ජීවන් යන ගමන කල්තියා පෙන්නුම් කළේය. වයිරසය මෙන්ම ඊට අදාළ නීතියේ ද විවිධ ප්‍රභේද ඇති බව ගෝඨාභය රජය ප්‍රසිද්ධියේ පෙන්නුම් කළේ තොණ්ඩමාන්ගේ මරණය අවස්ථාවේය. සෞඛ්‍ය සේවා හිටපු අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට තර්ජන එල්ල වන තැන දක්වා නීතිය නැමුණු අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවා තොණ්ඩමන්ලාගේ බලය හමුවේ අසරණ විය. ලංකා කම්කරු කොංග්‍රසය සිය පැරැණි නාමය වූ ලංකා ඉන්දීය කොංග්‍රසය යන්න වෙනස් කරගත් ඉතිහාසය දැන් බොහෝ දෙනකුට මතක නැත. එසේ නැතහොත් බොහෝ දෙනෙක් දන්නේ නැත. එහෙත් එසේය කියා ඉන්දියාවෙන් තොණ්ඩමන්ලාට ලැබෙන දේශපාලන හයිය සු`ඵපටු නැත. අවශ්‍ය නම් බී.ජේ.පීයේ ශාඛාව බවට සී.ඩබ්ලිව්.සීය පත්කරගැනීමට බැරිකමක් ද නැත.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...