ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදය යැයි යමෙකු ව්‍යවහාරයක් කළහොත් බොහෝ දෙනකුගේ සිතට එක්කෝ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ආධිපත්‍ය සිහියට එනු ඇත. එසේ නැත්නම් මේ දිනවලදී නම් ලංකාවේ කාදිනල් හිමියන් සිහියට එනු ඇත. සාමාන්‍යයෙන් මිනිසුන් දේවල් පිළිබඳ සිතන්නේ හැඟවුම්කාරකවලින් බැවින් එසේ සිතීම අසාධාරණ ද නැත. එහෙත් ආගමික දේශපාලනයට බැණ වදිමින් ආගමේ නාමයෙන් දේශපාලනයේ නිරත කාදිනල් හිමි අපට නොකියන කතාවක් ද ඇත. ඒ, සැබැවින්ම ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදයක් මේ ලෝකයේ ඇති බවයි.
නෙදර්ලන්තය, බෙල්ජියම, ප්‍රංශය, ජර්මනිය හා ඉතාලිය වැනි යුරෝපයේ රටවල් ගණනාවක ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ ක්‍රියාත්මකය. ජාතික සීමාවේදී එයටම අනන්‍ය ලක්ෂණ වලින් සමන්විත ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවලට එක් තනි මුහුණුවරක් නොමැත. ඒවායේ මූලික ලක්ෂණය නම් ඒවා රෝමානු කතෝලික තත්ත්වය මත පදනම් වූ ප්‍රතිපත්ති වලට පක්ෂපාත වීමය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව සමාජ ප්‍රතිසංස්කරණ වැනි ක්ෂේත්‍ර වල දී යුරෝපා දේශපාලන ප්‍රතිපත්තිවලට සැලකිය යුතු බලපෑමක් කළ මෙම පක්ෂ බොහෝවිට ගතානුගතිකවාදීය. සිය රටවල ක්‍රිස්තියානි උරුමය ගැන වැඩි වශයෙන් වද වෙන මෙම පක්ෂ සෑම ආගමක්ම එක හා සමානය වැනි ලෞකික සහ වඩාත් ලිබරල් වූ මතයක් අවධාරණය කරනවට වඩා ක්‍රිස්තියානි ආචාරධර්ම පිළිබඳව වැඩි අවධානය යොමුකරයි.
සාමාන්‍යයෙන් කිතුණුවෝ ගබ්සාවට සහ සමලිංගික විවාහවලට විරුද්ධත්වය දක්වති. එහෙත් මේ කාරණා නිශ්චිත නෛතික සීමා තුළ පිළිගත යුතු බවට අදහස් දරන ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ද වේ. ආර්ථිකයේ පැවැත්ම මනුෂ්‍යත්වයට සේවාවක් වශයෙන් සිදුවිය යුතුය යන්න ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ආර්ථික දර්ශනයයි.
ඇතැම් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ක්‍රිස්තියානි සමාජවාදයට විරුද්ධ වන අතර ඇතැම් ඒවා සමීපතාවක් දක්වති. මෑත දශකවලදී යුරෝපයේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ලිබරල් ආර්ථිකය හා දක්ෂිණාංශික ප්‍රතිපත්ති කෙරෙහි වැඩි ඇල්මක් දක්වමින් ආර්ථිකයෙහි දී රාජ්‍ය භූමිකාව අඩු කිරීම් සඳහා යොමුව සිටි. මෙමගින් දැක්වූයේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී දැක්මේ මූලික කාරණා කීපයක් පමණි. එය ද මෙසේ මතුකළේ ලංකාවේදී මෑත වසර දෙකක කාලයේදී ඉස්මතු වූ ක්‍රිස්තියානි දේශපාලනය ගැන තරමක් හෝ සිහිකිරීමටය. විශේෂයෙන්ම 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා පාස්කුදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සමග ක්‍රිස්තියානි කතෝලික දේශපාලනය ලංකාවේ දේශපාලනයට කළ බලපෑම විශාලය. එහි මතවාදී කතෘකයා වූයේ මැල්කම් රංජිත් කාදිනල්හිමියෝය. කෙසේ වෙතත් කාදිනල් හිමියන් ලංකාවේ දේශපාලනය කරද්දී අතිශය සූක්ෂ්මය.
“කතෝලික අප සිටින්නේ බෞද්ධ සෙවනැල්ල යටය” හා “අප හුස්ම ගන්නේ සිරිමා බෝධිය හා දළදා හිමි පිස එන සුළඟය” යන ප්‍රසිද්ධ ප්‍රකාශ දෙකෙහි උත්ප්‍රාසය ජනිත වන්නේ කතෝලික සභාවලට මු`ඵ ලෝකය පුරා හිමි දේශපාලන බලය සමගය. ඉහත ප්‍රකාශ කතෝලික කිතුණු ප්‍රජා අතර පවා ඔහුගේ ද්විත්ව ස්වරූපය තහවුරු කර ඇතත් මේ දේශපාලන රංගය බෞද්ධ සමාජයට ඒ අයුරින්ම අවබෝධ වන්නේ නැත.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය මගින් රටේ කතෝලික ජනයා පාලනය වුවත් බෞද්ධ සමාජය සිතන්නේ රටේ කිතුණු කතෝලික ප්‍රජාවේ නායකත්වය ඇත්තේ කාදිනල් හිමියන්ට බවය. බස්නාහිර පළාත අගරදගුරු පදවිය ලෙස හැඳින්වීමත් කාදිනල් තනතුරත් වෙනත් රදගුරුවරුන්ට නැති මාධ්‍ය ප්‍රචාරණයත් විසින් මෙම ව්‍යාජය ස්ථාපිත කරනු ලැබ තිබේ. එහෙත් ඔහුට වගකීම ඇත්තේ රටේ මුළු ජනගහණයෙන් ලක්ෂ හතරකට ආසන්න කතෝලික පිරිසකට පමණකි. සමස්තයෙහි නායකයා වන්නේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපතිවරයාය. සිව් වසරක නිල කාලයක් ඔහුට හිමිය.
වර්තමානයේ මෙරට කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේ ඌව රදගුරු වින්ස්ටන් ප්‍රනාන්දු හිමිය. එහෙත් එහිමියන් දැඩි මීඩියා උණකින් පෙළෙන්නකු නොවන බැවින් ඒ තරම් ප්‍රකට නැත. ලොව විවිධ රටවලදී ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදය විවිධ හැඩතලවලින් ක්‍රියාකාරී බව ලිපියේ ආරම්භයේ සඳහන් කළෙමි. එය ශ්‍රී ලංකාවට ද පොදුය. එහෙත් ඒ බව බහුතර ජනයාට වැටහෙන්නට තවම කල් මදිය.