27 C
Colombo
Friday, April 19, 2024

උතුර වනසන චීන මුහුදු කූඩැල්ලෝ

- Advertisement -

රටේ විවිධ පළාත් මෙන් මේ වන විට උතුරු පළාත ද විවිධ ආකාරයේ කුඨ සැලසුම්කරුවන්ගේ තෝතැන්නක් බවට පත්වෙමින් තිබෙන බව රහසක් නොවේ. වසර තිහක යුද්ධය අතරතුර කාලයේදී, විශේෂයෙන් ව්‍යාපරික සහ වෙනත් සැලසුම් වෙනුවෙන් උතුරු පළාත වංචනික ආකාරයෙන් භාවිත කිරීමට පැහැදිලි බාධාවන් විය. එක් පසෙකින් රජයේ හමුදාවන්ගේ සහ අනෙක් පසින් එල්ටීටීඊ සංවිධානයේ බලපෑම නිසා කිසිදු රහසිගත ව්‍යාපාරයක් හෝ වෙනත් සැලසුමක් මෙම දෙපාර්ශ්වයට රහසින් සිදුකළ නොහැකි විය. එසේම පාරම්පරිකව උතුරු පළාතේ දෙමල ජනතාව ඉන්දියාව සමග ආර්ථිකමය සහ සංස්කෘතිකමය වශයෙන් අත්‍යන්ත බැඳීමක සිටි බැවින් වෙනත් භූ-දේශපාලනික අරමුණු වෙනුවෙන් හෝ උතුර භාවිත කිරීම ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කරන වෙනත් අන්තර්ජාතික පාර්ශ්වයන්ට දුෂ්කර විය.

එහෙත් දැන් තත්වය බොහෝ සෙයින් වෙනස්වී ඇත. විශේෂයෙන් 2022 වසර ආරම්භයේ සිට ගෙවීගිය මාස 11ක කාලය ඇතුලත. නිදහසින් පසු රට මුහුණ දෙන බරපතලම ආර්ථික අර්බුදය නිර්මාණය වී ඇති අතර, උතුරු පළාත ද එම අභියෝගයෙන් ගැලවී නැත. විශේෂයෙන් මෙතෙක් කලක් රටේ අගනුවර ඇතුළුව සීමිත ප්‍රදේශයකට සීමා වී සිටි චීනය වැනි පාර්ශ්වයන් වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ඉතාම සීරුවෙන්, වැඩි කලබලයක් නොමැති උතුරු පළාතට සිය හස්තය දිගුකරමින් සිටින බව පෙනෙන්නට තිබේ. බැලූබැල්මට ව්‍යාපාරික අරමුණු පෙරදැරි කරගෙන ඇති බව පෙනුණද, අද වන විට චීනයේ උතුරු පළාතේ හැසිරීම මගින් ප්‍රදර්ශනය වීමට පටන්ගෙන ඇත්තේ, උතුරට සාම්ප්‍රදායිකව පවතින ඉන්දියානු හුය බිඳදමා සිය බලය තහවුරු කරගනිමින්, ඉන්දියානු සාගරයේ බල ව්‍යාප්ති සැලසුමේ කොටසක් උතුරේ සිට ක්‍රියාත්මක කරවීමට බවය. එහි ආරම්භක පියවරක් ලෙස චීනය මීට වසර දෙකකට පෙර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකට බව පවසමින් උතුරේ දුපත් තුනක් බදු ගැනීමට සැලසුමක් ක්‍රියාත්මක කළේය. ඊට කැබිනට් අනුමැතිය පවා ලබා ගැනීමට චීනය සමත් වූ නමුත්, අවසානයේ ඉන්දියාව විසින් චීනයේ අරමුණු පිළිබඳව දිගින් දිගටම අනතුරු ඇඟවීමේ ප්‍රතිඵලයක් ලෙස රජයට සිය අනුමැතිය හකුලාගැනීමට සිදු විය.

දැන් උතුරට අතපෙවීමට චීනය සොයාගෙන ඇත්තේ අලුත්ම උපක්‍රමයකි. වෙනත් ආකාරයකින් කිවහොත් අනාගත සැලසුමක් ඉලක්ක කරගනිමින් චීනය විසින් උතුරේ කුඩාවට එළා තිබූ දැලක් සුක්ෂමව පුළුල් කිරීමකි. එනම් මුහුදු කූඩැල්ලන් වගාවයි. උතුරු පළාත තුළ පසුගිය අවුරුදු 50 ක් පුරා ධිවරයන් විසින් සිය සාම්ප්‍රදායික පන්න ධිවර කර්මාන්තය අතරතුර ස්වාභාවිකව සුළු පරිමාණයෙන් මුහුදු කූඩැල්ලන් සාගරයෙන් අල්ලා අලෙවි කරන ලදී. එහෙත් පසුගිය වසර 10 ක කාලයේදී චීනය මෙම කර්මාන්තයට වාණිජ මට්ටමින් මැදිහත්වී ඇත. පෙර සේ සාම්ප්‍රදායිකව මුහුදින් කූඩැල්ලන් අල්ලාගනු වෙනුවට, මුහුදු කූඩැල්ලන් අල්ලාගෙන වගා කොටු තුළට දමා මහා පරිමාණයෙන් වගාකිරීම මෙම චීන ආයෝජකයෝ සිදුකරති. එහිදී සීමිත චීන ජාතිකයන් පිරිසක් පමණක් භෞතිකව මෙම ව්‍යාපාරයට සම්බන්ධ වන අතර, වගා කටයුතු සම්පුර්ණයෙන්ම පාහේ සිදුකරනු ලබන්නේ උතුරු පළාතේ ධීවරයන් මැදිහත් කරගනිමිනි.

මුහුදු කූඩැල්ලන් වෙරළාශ්‍රිත සාගරයේ වගා කිරීම හා ඇල්ලීම අසල්වැසි රට වන ඉන්දියාව විසින් ඉන්දියානු ධීවරයන්ට තහනම් කොට තිබේ. ඊට හේතුව සාගර කලාපයේ සම්ප්‍රදායික මත්ස්‍ය කර්මාන්තයට ඉස සිදුවන බරපතල හානියයි. අසල්වැසි රාජ්‍යය විසින් එසේ අහිතකරභාවය පැහැදිලිව පෙන්වාදී තිබියදී චීන ආයෝජකයන් කිලිනොච්චිය හා මන්නාරම දිස්ත්‍රික්කය ප්‍රධාන කොටගෙන මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය( NAQDA) ආයතනයද සම්බන්ධ කරගනිමින් ඉතා වේගයෙන් පියවර ගනිමින් සිටින බව දකගත හැකිය. කෙසේවෙතත් මෙම ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ලබාදෙන චීන ආයෝජකයන් කවුරුන්දැයි රාජ්‍ය පාර්ශ්වය විසින් අනාවරණය කරන්නේ නැත. එසේම උතුරේ බහුතර ධිවර ජනතාවට ඉන් අත්වන ප්‍රතිලාභය පිළිබඳව කිසිදු පැහැදිලි කිරීමක් සිදුකර නැත. ඒ වෙනුවට, අද වන විට මෙම මුහුදු කූඩැල්ලන් වගා කිරීම පාරම්පරික ධීවරයින්ට විශාල බාධාවක් බවට පත්වී තිබේ.

විශේෂයෙන් ඉස්සන්, කකුළුවන්, දැල්ලන් බහුලව ස්වාභාවිකව බෝවෙන මුහුදු කලාපයක නිසි සැලසුමක් නොමැතිව හා නිසි අධ්‍යයනයක් නොමැතිව මුහුදු කූඩැල්ලන් මෙලෙස වගා කිරීම පැහැදිලි ගැටළු රැසක් උද්ගත කර ඇත. ධීවරයන් පෙන්වාදෙන්නේ, ධීවරයන් 100දෙනකු පමණ පමණ ඉස්සන් අල්ලන මුහුදු කලාපයක් 10දෙනෙකුට පමණක් මුහුදු කූඩැල්ලන් වගා කිරීමට ඉඩ ලබාදීම මඟින් අනෙක් 90දෙනාගේම ජීවනෝපාය අවදානමට ලක්කර ඇති බවයි. උතුරු පළාතේ 17,000කට අධික ධීවර පවුල් ප්‍රමාණයක් වාසය කරන අතර ඉන් තෝරාගත් 1000කට අඩු සංඛ්‍යාවක් මෙම ව්‍යාපෘති සඳහා තෝරාගෙන ඇත. එම තෝරාගැනීමද ඔවුන්ව මුදල් මත නම්මාගත හැකි ආකාරයෙන් සිදුකර තිබෙන බව බහුතරයක් උතුරේ ධීවරයෝ පෙන්වා දෙති. එමනිසාම මෙම චීන ව්‍යාපෘති හේතුවෙන් ඉතිරි ධිවර පවුල් 16,000 ක සංඛ්‍යාවකගේ ජීවනෝපාය අහිමි වී ඔවුන් පාරට වැටීමේ අවදානමක් මේ වන විටත් නිර්මාණය කෙරෙමින් පවතී.

මෙහිදී ශ්‍රී ලංකා රජය කෙසේවෙතත්, චීන පාර්ශ්වයෙන් මෙම ආයෝජන පිළිබඳව අනාවරණය කර ඇති සුළු තොරතුරු ප්‍රමාණය පිළිබඳවද අවධානයක් යොමුකළ යුතුය. චීනය පවසන ආකාරයට ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට චීනයට මුහුදු කූඩැල්ලන් අපනයනය කිරීමට පහසුකම් සැලසීමටය. චීන හවුල් ව්‍යාපාර සමාගමක් වන Gui Lan (Pvt) Ltd විසින් යාපනයේ වෙරළබඩ ගම්මානයක් වන අරියාලෙයි හි 2016 තරම් ඈත කාලයේ සිටම මේ වෙනුවෙන් කෘත්‍රිම අභිජනන නිෂ්පාදන මධ්‍යස්ථානයක් (හැචරියක්) ස්ථාපිත කර ඇති බව Geo-politik වාර්තා කර ඇත. Geo-politik වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් ගෙන එන විමර්ශනාත්මක වාර්තාවක් ඔස්සේ පෙන්වාදී ඇත්තේ, ශ්‍රී ලංකාවේ දේශගුණය මුහුදු කූඩැල්ලන් නිෂ්පාදනය සඳහා බෙහෙවින් යෝග්‍ය වන නමුත්, එය මහා පරිමාණ නිෂ්පාදනයක් ලෙස සිදු කළහොත් දේශීය සාගර පරිසර පද්ධතියට ව්‍යසනකාරී ප්‍රතිවිපාක ඇති කළ හැකි බවයි. එම වාර්තාවට අනුව 2021 වසරේදී පමණක් ශ්‍රී ලංකාව මුහුදු කූඩැල්ලන් ටොන් 336ක් පමණ අපනයනය කර ඇති අතර චීනය එහි විශාලතම ගැනුම්කරුවා බවට පත්ව තිබේ.

මෙම චීනයේ රහසිගත ව්‍යාපාරය සහ වර්තමාන ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සැලකිල්ලට ගතහොත්, ශ්‍රී ලංකා රජය දැනටමත් චීනයේ පීඩනයට යටත් වීමට සූදානමින් සිටින බව පෙනෙන්නට තිබේ. ඊට හේතුව, රටේ පවතින දැවැන්ත ආර්ථික අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රයෝජනයකින් තොර මහා පරිමාණ ව්‍යාපෘති වෙනුවෙන් විශාල ලෙස ණය ලබාදී ඇති චීනය, අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ණය සහන වැඩසටහනේදී ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇති නිසාය. එබැවින් මුහුදු කූඩැල්ලන් නිෂ්පාදනය සඳහා වන සියලුම චීන ආයෝජන කොන්දේසි හෝ අනාගත ව්‍යසනයන් පිලිබඳ කිසිදු අධ්‍යයනයකින් තොරව පිළිගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. 2022 ජුනි මාසයේදී, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල යාපනය, මන්නාරම, කිලිනොච්චි සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක ආවරණය වන ආකාරයට, අක්කර 5000ක් පුරා විහිදුණු මහා පරිමාණ වාණිජ මුහුදු කූඩැල්ලන් ව්‍යාපෘතියක් සඳහා වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන්නේ ඒ අනුවය.

මෙහි ඇති වඩාත්ම විශේෂත්වය වන්නේ චීනය විසින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා තෝරාගන්නා ලද දූපත් තුනෙන් එකක් වන නයිනතිව් ආසන්න ප්‍රදේශයක් වන පුංගුඩුතිව් ප්‍රදේශය ආවරණය වන ආකාරයට මෙම මුහුදු කූඩැල්ලන් ව්‍යාපෘතියේ ප්‍රධානම මධ්‍යස්ථානයක් සැලසුම් කර තිබීමයි. ඒ අනුව චීනයට සැබෑ ලෙසම මුහුදු කූඩැල්ලන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු වෙනුවට ඉන්දියාව සහ යාබද සාගර කලාපය ඉලක්ක කරගත් වෙනත් දීර්ඝ කාලින සැලසුම් පවතින බව පැහැදිලිවම දැකගත හැකිය. චීන ජාතිකයන්, ගෙවීගිය දශකයක කාලය තුළ මේ ආකාරයෙන්, වෙනත් රටවල වියදමින් ඔවුන්ගේ අවශ්‍යතා තවදුරටත් පුළුල් කිරීමට සිය බලපෑම භාවිත කර ඇති ආකාරයට ඕනෑතරම් සාක්ෂි සොයාගත හැකිය. එහෙත් කණගාටුවට කරුණ වන්නේ ඒ බොහෝ අවස්ථාවලදී චීනයේ සැබෑ අරමුණු දැක දැක වුවත් ඒවාට විරුද්ධ වීමට අදාළ රට තුල ශක්තිමත් පාලනයක් නොපැවතීමයි.

RECENT ARTICLES - SINHALA

දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ...

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...