ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පිහිටි මෙරටට ආවේණික හා මෙරටින් හමු වූ විශාලතම දුර්ලභ පඬු කරඳ ශාකය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බැකෝ යන්ත්‍ර 4 ක් භාවිත කර නීති විරෝධී ව සම්පූර්ණයෙන් ම විනාශ කර දැමීම පසුගිය සතියේ පරිසරයට ආදරය කරන සැමගේ සිත් සසල කළ සිදුවීමක් වුණා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා ඇති පළමු කොටසට අයත් වන භූමියක පිහිටි මෙම ශාකය ක්‍රමවත් ව සංරක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකර අනීතික ව හා බලහත්කාරය භාවිත කර මෙසේ විනාශ කර දැමුණා. ඉතා ම සංවිධානාත්මක ව සිදු කර ඇති අතර ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇති බව තහවුරු වූයේ කැබිනට් ප්‍රකාශක සහ මහාමාර්ග විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙම ගස ඉවත් කිරීම කැබිනට් අනුමැතිය මත සිදු කළ බව පැවසීමත් සමගයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සහ පරිසර හා සමාජ සංවර්ධන අංශය මගින් නිසි ක්‍රමවේදයකට යටත් ව මෙම ශාකය සංරක්ෂණය කිරීම හා අධිවේගී මාර්ග සංවර්ධනය තුළිත ව ක්‍රියාත්මක කර තිරසර සංවර්ධන උපායමාර්ගවලට පිවිසීමේ හැකියාව තිබිය දී ඒ සඳහා අතිරික්ත වැයක් දැරීමට සිදු වන බව සඳහන් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය මෙම ශාකය බලහත්කාරයෙන් විනාශ කිරීමට ක්‍රියාමාර්ග ගැනීමෙන් සිදු කර ඇත්තේ වැරදි පූර්වාදර්ශ සමාජයට ලබා දීමක්.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවේ මධ්‍යම අධිවේගී මාර්ගය වැනි විශාල ව්‍යාපෘතියක් දිනක් හෝ පමාවීම රටට කොතරම් බරක් දැයි ජනතාව අවබෝධ කරගත යුතු බවයි.
අමාත්‍යවරයා පවතින සැලසුම වෙනස් කර ගස ඉවත් නොකර මාර්ගය ඉදි කළහොත් අමතර රුපියල් බිලියන 15ක පිරිවැයක් දැරීමට සිදුවන බවයි.
එමෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන චීන කොන්ත්‍රාත් සමාගම ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් බිලියන 5ක මුදලක් ඉල්ලා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය අනාවරණය කළා.
නමුත් දකුණු අධිවේගී මාර්ගය සකස් කිරීමේ දී ව්‍යාපෘති සැලැසුමේ බෙලිඅත්ත හා කසාගල හුවමාරු අතර බැදිගම නමින් හුවමාරුවක් නොතිබුණ ද ප්‍රබල දේශපාලනඥයෙකුගේ නිවසට පහසුවෙන් පිවිසීමට බැදිගම හුවමාරුව නමින් අලුතින් හුවමාරුවක් දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කිරීමේ දී සකස් කළ නිලධාරීන්ට පඬු කරඳ ශාකය ආරක්ෂා කිරීම සඳහා සැලැසුම් සකස් කිරීමට නොහැකි වීම කණගාටුවට කරුණක්.
ෆැබේසියේ කුලයට අයත් පඬු කරඳ ශාකය ඉංග්‍රිසියෙන් Sri Lanka Legume ලෙසත් විද්‍යාත්මකව Crudia zelanica ලෙසත් හැඳින්වෙනවා. මෙම ශාකය විද්‍යාත්මක ව නාමකරණය කිරීමෙන් අනතුරු ව 1911 වසරෙන් පසු මෙරටින් වාර්තා වූ බවට විද්‍යාත්මක සාධක නොතිබුණා. නමුත් 2019 වසරේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ දාරළුව ග්‍රාම නිලධාරී වසමට අයත් මධ්‍යම අධිවේගී මාර්ගයට යටත් වන එච්. අයි. එම්. ඒ. මුණසිංහ මහතාට අයත් ව තිබූ වන්දි ගෙවීමෙන් පසු පවරාගන්නා ලද ඉඩමෙන් වසර 108 කට පසු ව හිමේෂ් ජයසිංහ ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් පළමු වරට මෙම ශාකය නැවත සොයා ගනු ලැබුවා. ඉන් පසු ව ගම්පහ දිස්ත්‍රික්කය තුළ ස්ථාන කිහිපයකින් මෙම ශාක විශේෂය වාර්තා කිරීමට ද හැකි වී ඇත.
2021 වසරේ දී පරිසර අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කළ ජාතික රතු දත්ත ලේඛණයේ මෙම ශාකය දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක් වූ ශාකයක් ලෙස නම් කර තිබෙනවා. එවැනි ආරක්ෂිත ශාකයකට කුමන හෝ ආකාරයක හානියක් සිදු කිරීම නීතිවිරෝධි වන අතර වරෙන්තුවක් නොමැතිව එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ද හැකියි.
සිද්ධිය දුටු ප්‍රදේශවාසීන් මාධ්‍යයට කියා සිටියේ චීන ජාතිකයන් පිරිසක් විශාල යන්ත්‍ර සූත්‍ර රැගෙන පැමිණ විනාඩි කිහිපයක් තුල ගස සම්පූර්ණයෙන්ම එම ස්ථානයෙන් ඉවත් කළ බවයි. ඔවුන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත් සිදුකරන සමාගමේ පුද්ගලයින් බව පසුව අනාවරණය වුණා. තිරසර සංවර්ධනය වැනි පරිසර මූලධර්ම මත පිහිටා ඒ සඳහා වන ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරන රටක් වශයෙන් මෙවැනි ක්‍රියා රටේ ජනතාවගේ මෙන්ම අනාගත පරපුරේද අවාසනාවක්.
ශ්‍රී ලංකාව මත ණය කන්දක් පටවා තිරසර නොවන ව්‍යාපෘති සඳහා මූල්‍යයනය කරන චීනය මෙරට තුල ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවලදී මෙරට පරිසරයට සිදුවන හානිය ගැන දශමයක හෝ සැලකිල්ලක් නොදක්වන බවට නිදසුන් ඕනෑ තරම් තිබෙනවා.
එහි බරපතලම පාරිසරික නීති උල්ලංඝනය පෝර්ට් සිටි ව්‍යාපෘතියයි. බලයේ සිටි දේශපාලනඥයන් සමග එක්ව අත්තනෝමතිකව ක්‍රියාත්මක කළ පෝර්ට් සිටි ව්‍යාපෘතිය හේතුවෙන් මෙරට සමුද්‍ර පරිසරයට සිදු වූ පාඩුව ගණනය කළ නොහැකි තරම්. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට වයඹ දිග වෙරළාශ්‍රිත ජනතාව සමුද්‍ර ඛාදනයෙන් නිරන්තර පීඩාවට ලක්ව සිටිනවා.
එමෙන්ම කලාතුරකින් දවසක තරගයක් පැවැත්වෙන, වසරේ සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය, ලෝකයේ හිස් ගුවන් තොටුපලක් වන මත්තල ගුවන්තොටුපල, හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘති සඳහා අක්කර ගණන් මහා වනාන්තර හෙළි කිරීමෙන් වාසස්ථාන අහිමි වූ අලි ඇතුන් හේතුවෙන් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක වල ජනතාව දිනපතා අලි – මිනිස් ගැටුමේ ගොදුරු බවට පත්වනවා.
මේ සියලු ඉදිකිරීම් අධික පොලියට ගත් චීන ණය මත චීන කොන්ත්‍රාත් සමාගම් විසින් ඉදිකරනු ලැබූ ඒවායි. චීනයට පරිසරය ගැන වගේ වගක් නැති බවට ලෝකය පුරා ද නිදසුන් හමුවෙනවා.
මියන්මාරයේ ඛනිජ කැනීම් ව්‍යාපෘති හේතුවෙන් සිදුවන පරිසර හානිය සම්බන්ධයෙන් දැඩි ජනතා විරෝධයකට මුහුණ දීමට අදාල සමාගම්වලට මීට වසර දෙකකට පමණ පෙර සිදු වුණා. අවසානයේ සිදු වූයේ එම ව්‍යාපෘති නතර කර දැමීමටයි. පාකිස්තානයේ චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝව ව්‍යාපෘතියට අදාලවද මෙවැනිම පරිසර විනාශයක් සිදු වන බවට දැඩි චෝදනා චීන සමාගම් වෙත එල්ල වනවා. අප්‍රිකාවේ විවධ ව්‍යාපෘති සිදුකරන චීන කොන්ත්‍රාත් සමාගම් එම රටවල දුර්ලභ පාරිසරික සම්පත් සොරා ගන්නා බවට ද චෝදනා එල්ල වෙමින් තිබෙනවා.
මෙවැනි නිදසුන් හරහා පැහැදිලි වන්නේ ලොව රටවල් එක්ව ගෝලීය වශයෙන් තිරසර සංවර්ධන මොඩියුලයක් අනුගමනය කිරීමට ප්‍රඥප්ත්ති සකස් කළද, සම්මුතීන් වෙත එළැඹුණද චීනයට ඒවා වගක් නැති බවයි. සිය ව්‍යාපෘතිය අවසන් කිරීම වෙනුවෙන් එක් පඬු කරඳ ගසක් නොව ගස් සියයක් වුවත් කපා දැමීමට චීනය කිසිසේත්ම පසුබට නොවන බව පැහැදිලියි. නමුත් අවාසානවක මහත වනුයේ අපේ රටේ අපේ මුදලින් ඉදිකරන ව්‍යාපෘති අපිට අවශ්‍ය ආකාරයට සහ පාරිසරික තිරසරබව රැකගනිමින් සිදු කරවා නොගෙන චීන පදයට නටන රට කරවන පිරිසක් සිටීමයි. ඒ නිසා කිසි දිනෙක මියන්මාරයේ මෙන් චීනයට සිය ව්‍යාපෘති හකුලා ගන්නට ශ්‍රී ලංකාවේදී සිදු නොවනු ඇති අතර අපේ පරිසරය සහ එහි අසමසම වටිනාකම් සියල්ල අහිමි වී යෑම පමණයි. සමහර විට ඒවා අහිමි වන්නේ සමස්ත මානව වර්ගයාට වුවද කළ හැකි කිසිවක් ඉතිරි නොවනු ඇති.