කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ තමා සහ සිය දියණිය සම්බන්ධව සංසරණය වන අතිශය සාවද්‍ය සහ ද්වේශ සහගත පුවතක් සම්බන්ධවයි.
අදාළ ව්‍යාජ පුවත මගින් නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ දියණියගේ ඡායාරූප භාවිත කර කොළඹ ප්‍රසිද්ධ හෝටලක සිය දියණියගේ උපන් දිනය පවත්වා ඇති බවත් ඊට අදාළ දැඩි අපහාසාත්මක සහ ද්වේශ සහගත කරුණු එම සටහනේ දක්වා ඇති බවත් දක්වා තිබු බව මහින්ද මහතා පැමිණිල්ලෙන් අවධාරණය කරනවා.
මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අදාළ උපන්දින උත්සවය සිය වැඩිමහල් දියණිය විසින් 2023 වසරේ අප්‍රේල් මස 16 වැනි දින ගිරිඋල්ල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ බවයි.
තවද සිය දියණිය කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක වන බවත් ඇය පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
මෙම ව්‍යාජ පුවත මගින් පූර්ණ කාලීන දේශපාලනයේ නිරත තමාට මෙන්ම තම දේශපාලන ව්‍යාපාරයට බරපතළ අපහාසයක් සිදුවන බවත් සිය දියණිය ඇතුළු පවුලේ සාමාජිකයින්ටද මෙමගින් ද්වේශ සහගත සහ හිතාමතාම අපහාස සිදුකර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සිය පැමිණිල්ල මඟින් දක්වා තිබෙනවා.
ඒ අනුව අදාළ සාවද්‍ය පුවත සම්බන්ධව කඩිනමින් විමර්ශනයක් කර ඊට අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සිය පැමිණිල්ල මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබෙනවා.