30 C
Colombo
Monday, May 29, 2023

වන අලි ජාවාරමක් සම්බන්දයෙන් යුද හමුදාව හා වනජීවි නිලධාරීන් අතර ගැටුමක්

- Advertisement -

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ කොටසක නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ඇල්ලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත යුද හමුදා වාහන දෙකක් නැවැත්වීමට උත්සාහ කිරීමත් සමග ඇති වූ පහරදීමක් සම්බන්ධයෙන් හබරණ පොලිසියට අද (26) පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හබරණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.කේ. ජයලත් පැවසුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් මෙන්ම යුද හමුදාව පාර්ශ්වයෙන් ද පැමිණිලි ලැබී ඇති බවයි.

නම් දැරූ කුප්‍රකට පුද්ගලයෙක්

අලි පැටවුන් ඇල්ලීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරා තිබූ කුප්‍රකට පුද්ගලයෙකු මින්නේරිය වනෝද්‍යානය අසල ස්ථානයක රැඳී සිටින බවත්, ඔහු සමග කණ්ඩායමක් වනෝද්‍යානය තුළට නිතර යන-එන බවටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරක් ලැබී ඇත. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් වනෝද්‍යානයෙන් පිටවීමට ඇති ස්ථාන රැසක මුර කපොලු ඇති කර, පරීක්ෂා කිරීම කර තිබේ.

යුද හමුදා වාහන දෙකක්

මේ අවස්ථාවේදී වනෝද්‍යානයේ සිට පැමිණි වාහන දෙකක් මුර කපොලුවල නතර කිරීමේ සංඥා නොතකා වේගයෙන් ධාවනය කර ඇති බවත්, එම වාහන දෙක අනුරාධපුරයේ පිහිටි යුද හමුදාවේ 21 වැනි බලසේනා මූලස්ථානය වෙත ගොස් ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් යුද හමුදාවේ අංක සහිත මේ වාහන දෙක පසුපස හඹාගොස් ඇති අතර, ඔවුන් ඉහළ නිලධාරීන්ගේ උපදෙස් නොලැබීම නිසා බලසේනා මූලස්ථානය වෙත ඇතුළු නොවී ආපසු පැමිණ ඇත.

දෙපාර්ශ්වයෙන්ම පැමිණිලි

ඉන්පසු යුද හමුදාවේ වාහන කිහිපයක් අදාළ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් පසුපස පැමිණ ඇති අතර, හබරණ ප්‍රදේශයේදී ඔවුන් අතර වාදයක් ඇති වී තිබේ. එහිදී යුද හමුදාවේ නිලධාරියෙකු විසින් වනජීවී නිලධාරියෙකුට පහර දීමක් සිදු කර, තර්ජනය කර ඇති බවත්, පොලිසිය පැමිණ අදාළ ගැටළුව සමථයකට පත්කිරීමට උත්සාහ දරා ඇති බවත් අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්පසු දෙපාර්ශ්වයම හබරණ පොලිසියට පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබේ.

කීර්තිනාමයට ප්‍රශ්නයක් – හමුදාව

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පැවසුවේ අනුරාධපුර 21 වැනි බලසේනා මූලස්ථානයේ ප්‍රධානී මේජර් ජෙනරාල් මොහාන් රත්නායක හබරණ දෙස සිට අනුරාධපුරය දෙසට යමින් සිටියදී, වාහන දෙකක් පසුපසින් පැමිණ ඇති බවයි. මේජර් ජෙනරාල්වරයාගේ මෝටර් රථය සහ ආරක්ෂක රථය හමුදා කඳවුර තුළට ඇතුළු කිරීමෙන් පසු, පසුපසින් පැමිණි පිරිස අදාළ වාහනයේ අලි පැටවෙකු සිටින බවට කඳවුරු ගේට්ටුවේ සිටි හමුදා සෙබළුන්ට පවසා නික්ම ගොස් ඇති බවත්, තමන්ගේ කීර්තිනාමයට මෙසේ හානි කිරීම සම්බන්ධයෙන් මේජර් ජෙනරාල්වරයා හබරණ පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත් බ්‍රිගේඩියර්වරයා සඳහන් කළේය. එහිදී කිසිදු පහරදීමක් සිදු වී නැතැයි ද අප කළ විමසීමේදී ඔහු පැවසීය.

විමර්ශනයක් කරනවා – වනජීවී අධ්‍යක්ෂ ජනරාල්

සිදුවීම සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ යම් සිදුවීමක් සිදුවී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් මේ වන විට දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂවරයාගේ මූලිකත්වයෙන් විමර්ශනයක් පවත්වන බව ද සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා, විමර්ශන වාර්තාව ලැබෙන තුරු තමන්ට ඊට වඩා කිසිවක් පැවසිය නොහැකි බව ද පැවසීය.
අදාළ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එන්.කේ.එස්. චන්ද්‍රරත්න සම්බන්ධ කර ගැනීමට අප අවස්ථා ගණනාවකදී උත්සාහ කළද, ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

පහර කෑවේ කවුද?

වාර්තා වන ආකාරයට මේ සිදුවීමේදී පහරකෑමට ලක්වී ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෑතකදී දැඩි කතාබහට ලක්වූ නිලධාරියෙකි. සෝමාවතිය වනෝද්‍යානයට නීතිවිරෝධී ලෙස ගවයන් ඇතුළු කිරීමට එරෙහිව, වනජීවී විෂය භාර රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක සහ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර වාදයක් ඇතිවීම ඊට හේතුවයි. මෙහිදී ඇමැතිවරයාට දිගින්-දිගටම කරුණු පැහැදිලි කරමින්, අදාළ නීතිවිරෝධී ක්‍රියාව වළක්වා ගැනීමට උත්සාහ කළ නිලධාරියාට ඉන්පසුව දෙපාර්තමේන්තු මට්ටමේ පරීක්ෂණයක් පැවැත්විණි. ඉන්පසු ඔහු මින්නේරිය වනෝද්‍යානයට මාරු කර යවන ලදි.

මේජර් ජෙනරාල්ටත් සිතාසි

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ වැඩිදුර කරුණු සඳුදා (28) අධිකරණයට වාර්තා කරන ලෙසයි. එසේම එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස අදාළ සිදුවීමට සම්බන්ධ මේජර් ජෙනරාල්වරයාට ද අධිකරණයෙන් සිතාසි නිකුත් කර තිබේ.

ආරක්ෂක අංශ සහාය !

ශ්‍රී ලංකාවේ අලි ජාවාරම සම්බන්ධයෙන් වන ප්‍රථම විධිමත් පර්යේෂණයට අදාළ පර්යේෂණ පත්‍රිකාව පසුගිය වසරේදී එළිදැක්විණි. Illegal capture and internal trade of wild Asian Elephants (Elephas maximus) in Sri Lanka නම් එම පත්‍රිකාවේ පැහැදිලිව සඳහන් කර ඇත්තේ මෙරට අලි පැටවුන් ජාවාරමට ආරක්ෂක අංශවල සහයෝගය ලැබෙන බවටයි.මෙය 2008 සිට 2018 දක්වා වසර 10ක් තිස්සේ සිදු කළ පර්යේෂණයකි.

RECENT ARTICLES - SINHALA

ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව...

මහියංගනය පුදබිම රනිල් පූජා භූමියක් කරලා

ඓතිහාසික මහියංගන පූජාභුමියේ විල්ලු‍වපිටිය වැව මධ්‍යයේ අභිනවයෙන් ඉඳිකළ අඩි 102 පමණ උසින් යුත් ශ්‍රීලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාවහන්සේ විවෘතකිරීම ඊයේ (28) ජනාධිපති රනිල්...

RECENT ARTICLES - ENGLISH

Parliament Caucul raises concerns on media exposure of child victims and accused

0
Chair of the Parliamentary Caucus for Children Rohini Kumari Wijerathna emphasized that many social problems have arisen due to the exposure of...

Special Police unit to protect religious harmony

0
President Ranil Wickremesinghe has directed Minister of Public Security, Tiran Alles, to promptly initiate the formation of a specialized police unit to...

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.