පසුගිය 12 වනදා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් ගොස් එහි සිටි රැදවියන්ට මරණ තර්ජනය සිදුකිරීමේ සිදුවීමට අදාළව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (16) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
පැමිණිල්ල මගින් එම කමිටුව පෙන්වා දෙන්නෙ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයේ සිටි දෙමළ සිරකරුවෙක්ගේ හිසට පිස්තෝලය තබා මරණ තර්ජනය සිදුකිරීම 1966 අංක 18 දරණ පීඩාකාරී ආයුධ පනතේ 4(1) අ,ආ සහ 4(2) යටතේ ගැනෙන වරදවල් බවයි.
එමෙන්ම දණ්ඩනීති සංග්‍රහය යටතේ මිනීමැරීමට තැත්කිරීමේ වරදද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා සිදුකර ඇති බව පැමිණිල්ලෙන් එම කමිටුව පෙන්වා දෙනවා.
එමෙන්ම සිංහල, දෙමළ හා මුස්ලිම් වැනි විවිධ ජනවර්ගවලට අයත් විශාල රැඳවියන් පිරිසක් සිටින අනුරාධපුර බන්ධනාගාරයේ දෙමළ සිරකරුවන් පිරිසක් පමණක් තෝරාගෙන ඔවුන්ට මරණ තර්ජනය සිදුකිරීම ඇතුළු අමානුෂික සහ අවමන් සහගත සැලකිල්ලට ලක්කිරීම 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුතිය පනත (ICCPR) යටතේද ගැනෙන වරදක් බව පැමිණිල්ලේ සදහන්.
ඒ අනුව අමාත්‍යවරයා සිදුකර ඇති වරදවල් මෙරට නීතිය අනුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි සංඥය වැරදි බැවින් වහාම ඔහුව අත්අඩංගුවට ගෙන දඩුවම් දෙන්නැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසනවා.
එමෙන්ම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාද බන්ධනාගාර රැදවියන් අනාරක්ෂිතභාවයට පත්කර ඔවුන්ට අගතියක් වන්නට සලසා ලොහාන් රත්වත්තේ මහතාට ඉහත කී අපරාධය සිදුකිරීමට අවශ්‍ය ආධාර අනුබල ලබාදී ඇති බැවින් 1966 අංක 18 දරණ පීඩාකාරී ආයුධ පනතේ 6 (1) සහ 7 යන වගන්ති යටතේ වරදක් සිදුකර ඇති බවද පැමිණිල්ල මගින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පෙන්වා දෙනවා.
එමෙන්ම බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතාද මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් කරමින් ඉහත කිී අපරාධය එදින සිදු නොවූ බවට හැඟවෙන ආකාරයට ප්‍රකාශ නිකුත් කර තිබීම මඟින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය හා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක යන අයද අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ක්‍රියාත්මක කරන්නැයි පැමිණිල්ල මගින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉල්ලා සිටිනවා.
