ගතවූ මාසය තුළ රට පුරා උද්ඝෝෂණ 120ක් පවත්වා ඇති බවත් මේ සෑම උද්ඝෝෂණයක් සඳහා අවම වශයෙන් 1500කට අධික පිරිසක් සහභාගී වී ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) රැස්වූ කොවිඩ් මර්දන විශේෂඥ කමිටු රැස්වීමේදී බුද්ධි අංශ පැවසූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.
බුද්ධි අංශ විසින් පෙන්වා දී ඇත්තේ සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද මෙලෙස වූ ජන ඒකරාශි වීම රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වී ඇති බවයි.
මේ අතර කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබාදෙනු ලැබුවා.
එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂඥ කමිටුව සමඟ අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා සදහන් කර ඇත්තේ කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී ඇතත් එලෙස පැමිණෙන රෝගීන් නිර්ණය කිරීමේ දී ඇතිවන තදබදය හේතුවෙන්, ඔවුන් අපහසුතාවට ලක් නොවිය යුතු බවටයි.
ප්‍රධාන නගර කිහිපයක් ආශ්‍රිතව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන මීට මාස කිහිපයකට පෙර සිටම සූදානම් කර ඇති බවත් හදිසි ඕනෑම අවස්ථාවක ආසාදිතයන් අපහසුතාවන්ට පත්වීම වැළැක්වීමට එම මධ්‍යස්ථාන සැලසුම් කර ඇති බවත් මෙහිදී ජනාධිපතිවරයා සදහන් කළා.
එම නිසා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නන් පළමුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතත්, පසුව රෝගියාගේ තත්ත්වය නිරීක්ෂණය කර රෝහල් වෙතත් යොමුකිරීමේ අවශ්‍යතාවය මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දී තිබෙනවා.
මෙහිදී විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පෙන්වා දුන්නේ තෙවන මාත්‍රාවක් සඳහා වුවද රජය සූදානම් වුවත් ජනතාවගෙන් රෝගය පැතිර යාම වැළැක්වීමට ලබාදෙන සහාය අවම වීම කණගාටුදායක බවයි.