ඊශ්‍රායල ඉරාන යුද්ධය තෙවන ලෝක යුද්ධයක් බවට පරිවර්තනය වීම වැළැක්වීමට හදිසි සහ විධිමත් මැදිහත් වීමක් සිදු කරන ලෙස ඉල්ලමින් විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලයට ලිපියක් භාර දී තිබෙනවා.
මෙම ලිපිය ඊයේ (24) ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලයට භාර දෙනු ලැබුවා.
මැදපෙරදිග කලාපයේ ඊශ්‍රායලය මූලික වී ඇති කර තිබෙන යුද ආතතිය පිටුපස අමෙරිකා එක්සත් ජනපදය සිටින බවට ලෝක ජනයා දැඩිව විශ්වාස කරන බව මෙම ලිපිය මඟින් පෙන්වා දෙන බවත්, එවැනි ගැටුම් වලක්වාලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් නොවීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු අමෙරිකා එක්සත් ජනපදයට අනුව හැසිරෙන ජගත් සංවිධානයක්ද යන පැනය මතුවන බවත් ලිපිය මඟින් අවධාරණය කර තිබෙනවා.
සම්පූර්ණ ලිපිය පහතින්,
ගරු නේවාසික නිත්‍ය නියෝජිත,
එක්සත් ජාතින්ගේ කොළඹ කාර්යාලය,
මගින්
ගරු මහලේකම් තුමා,
එක්සත් ජාතින්ගේ සංවිධානය,
එක්සත් ජාතින්ගේ මහලේකම් කාර්යාලය,
නිව්යෝක්,
අමෙරිකා.
ගරු මහලේකම් තුමනි,
*ඊශ්‍රායල ඉරාන යුද්ධය තෙවන ලෝක යුද්ධයක් බවට පරිවර්තනය වීම වැලැක්වීමට හදිසි සහ විධිමත් මැදිහත් වීමක් කරන ලෙස කරනු ලබන අවධාරණයයි*
අමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලය සහ ඉරානය එක්ව දින 60ක කාල රාමුවකට යටත්ව ඉරානයේ යුරේනියම් බල ගැන්වීමේ ක්‍රියාන්විතය අත්හිටුවීම පිණිස කළ සාකච්ඡා අවසන් වී එක් දිනක් ඇතුලත ඉරානයට ඊශ්‍රායල් ප්‍රහාර එල්ල වීම හේතුකොට ගෙන ඇති වූ ගැටුමට මේ වන විට සති දෙකකටත් වඩා කාලයක් ඉක්ම ගොස් ඇත. එලෙසම මේවන විට අමෙරිකාවද ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට මැදිහත්ව සිටිනවා මෙන්ම ඉරානයද ප්‍රති ප්‍රහාර එල්ල කරන තැනට තල්ලු වී තිබේ.
මෙසේ අමෙරිකාව අනවශ්‍ය ලෙස ඉරානයට පහර දෙන්නේ පසුගිය මාර්තු මාසයේදී, අමෙරිකා එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂිකා තුල්සි ගැබාර්ඩ් අමෙරිකානු සෙනෙට් බුද්ධි කමිටුවක් ඉදිරියේ සාක්ෂි දෙමින් ඉරානය න්‍යෂ්ටික අවියක් ගොඩනඟන්නේ නැති බවත්, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි 2003 දී ඔහු විසින් අත්හිටුවන ලද න්‍යෂ්ටික අවි වැඩසටහනට අවසර දී නොමැති බවත් අමෙරිකානු බුද්ධි ප්‍රජාව විසින් තහවුරු කරන බව අවධාරණය කළ සන්දර්භයක් තුළය.
ඉහත පෙන්වා දුන් කරුණු මගින් තහවුරු වන්නේ අමෙරිකාව අනිවාර්යෙන්ම තම යුදමය හස්තය ඉරානයට එරෙහිව භාවිතා කිරීමට දිගු කාලයක පටන් පිඹුරුපත් සකසා ඇති බවයි.
2003 වර්ෂයේදී ඉරාකයට පහරදී විනාශ කිරීමට අමෙරිකාව වට පිටාව සකසා ගත්තේ ඉරාකය සතුව මානව විරෝධී රසායනික අවි තිබෙනවාය යන කාරණය පෙරට දමා ගෙනය. එලෙසම ඉරාකයට ප්‍රහාර එල්ල කිරීමට පෙර ඉරාකය සතුව රසායනික අවි නැති බව තහවුරු කරන්නට ජාත්‍යන්තර සංවිධාන භාවිත කළ බවද ඔබ තුමාගේ සිහියට නගා ගත හැකි බව අපගේ විශ්වාසයයි.
එලෙසම ඉරානයට පහර දීමට ප්‍රථම ඉරානය සතුව න්‍යෂ්ඨික අවි තැනීමට තරම් යුරේනියම් බල ගැන්වීමක් නොකර ඇති බව දින 60 ක් තිස්සේ අමෙරිකාව ඊශ්‍රායලය සහ ඉරානය අතර පැවැති සාකච්ඡා වලින් තහවුරු කර ගත් බව අප ගොඩ නගන තර්කය වන්නේය.
ළමුන් කාන්තාවන් ඇතුළු ගාසා තීරයේ ජීවත් වන සිවිල් වැසියන්ට එරෙහිව කරන ප්‍රහාර, යුක්රේන රුසියානු යුද්ධයේදී අවි ආයුධ ඇතුළු මිලිටරි පහසුකම් යුක්රේනයට ලබා දීමට කටයුතු කිරීම, කියුබාව වැනි රටකට බරපතල සම්බාධක පැනවීම ආදී මානව විරෝධී කටයුතු වලට අමෙරිකාව දක්වන ප්‍රමුඛත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ලෙස ඔබ තුමාට තක්සේරුවක් නැතැයි අපි විශ්වාස නොකරමු.
කරුණු පෙල ගැසී ඇති ආකාරය අනුව ඉරාන ඊශ්‍රායල් අමෙරිකා යුද්ධය තුන් වෙනි ලෝක යුද්ධය දක්වා දිගැස්සීම වහ වහා වැලැක්වීම ඔබ තුමාගේ අත්හල නොහැකි වගකීමක් වන බව අප දැඩිව අවධාරණය කරමු.
කෙසේ වුවද බොහෝ ලෝක නායකයන් මේ වන විටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හැසිරීම හෑල්ලුවට ලක් කරමින් පසුගිය කාලයේදී ප්‍රකාශ නිකුත් කර තිබුණි. එම නායකයන්ගේ ප්‍රකාශ නිකුත්වන්නේ ඔබ තුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි නායකත්වය දරණ කාලය තුළ වීම හේතුවෙන් ඔබ තුමාගේ නායකත්ව පෞරෂය හෑල්ලුවට ලක්ව ඇති බවද කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කරමු.
මැදපෙරදිග කලාපයේ ඊශ්‍රායලය මූලික වී ඇති කර තිබෙන යුද ආතතිය පිටුපස අමෙරිකා එක්සත් ජනපදය සිටින බවට ලෝක ජනයා දැඩිව විශ්වාස කරන බව පෙන්වා දීමට මෙය අවස්ථාවක් කර ගනිමු. එවැනි ගැටුම් වලක්වාලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් නොවීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු අමෙරිකා එක්සත් ජනපදයට අනුව හැසිරෙන ජගත් සංවිධානයක්ද යන පැනය මේ වන විට ලෝක ජනයා තුළ මතුව තිබෙන බව අපට මෙන්ම ඔබ තුමාටද පෙනී යනවා ඇතැයි අපි විශ්වාස කරමු.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපත සිදු වන්නේ ලෝක ජනයාගේ පැවැත්ම තහවුරු කරනු පිණිස සමස්ත ලෝක ජනයා වෙත සාමය සහ ආරක්ෂාව සැලසීම මූලික කරගෙනය. එහෙත් අද වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය අමෙරිකානු අධිරාජ්‍යවාදයේ බළල අතක් වී ඇත්දැයි යන සැකය සමස්ත ලෝකය පුරා පැතිරී ඇති බව ඔබ තුමාටද නිරීක්ෂණය වී ඇතැයි සිතමු.
ඒ අනුව, මෙතෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායල – අමෙරිකා – ඉරාන යුද්ධය කෙරෙහි අනුගමනය කළ ඇල් මැරුණු ස්වභාවයෙන් වහාම මිදී මානව ඛේදවාචකයකින් අවසන් වීමට නියමිත මෙම ගැටුම අවසන් කිරීමට ස්ථිරසාර වැඩපිළිවෙලක් සහිතව ක්ෂනිකව මැදිහත් වන ලෙස අපි ඔබ තුමා වෙතින් බල කර ඉල්ලා සිටිමු.
ස්තුතියි,
මෙයට විශ්වාසී,
විමල් වීරවංශ (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී )
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
ශ්‍රී ලංකාව