මේ වන ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රදවාගෙන ප්‍රශ්න කරමින් පසුවන හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගත් රන් පැහැ ගැන්වූ ටී – 56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් ඊයේ (23) ඔහු අත්අඩංගුවට ගැනුණා.
ඒ, බම්බලපිටිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැඳී සිටියදීයි.
පසුගියදා (20) කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී රන් පැහැ ගැන්වූ t56 වර්ගයේ ගිනි අවියක් සොයා ගෙන තිබුණා.
එහිදී අත්අඩංගුවට ගත් 69 හැවිරිදි අදාළ කාන්තාව සහ ඇගේ ලේලිය වන කසකස්ථාන ජාතික කාන්තාවගෙන් වැල්ලවත්ත පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබූ අතර ඔවුන් පොලිසිය හමුවේ පවසා තිබුණේ අදාළ අවිය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි.
ඔවුන්ගේ ප්‍රකාශවලින් මෙම රන් පැහැ ගැන්වූ ගිනි අවියට හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකගේ සෘජු සම්බන්ධයක් ඇති බවට පොලීසිය විසින් කරුණු අනාවරණය කරගෙන තිබුණා.
එහිදි හෙළිව තිබුණේ, සැකකාර හිටපු අමාත්‍යවරයා මීට මාස හයකට පෙර සිය අරක්කැමියා මාර්ගයෙන් මෙම ගිනි අවිය තම හිතවතියක වූ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවගේ නිවසට යවා ඇති බවයි.