30 C
Colombo
Tuesday, April 16, 2024

නැගෙනහිර වෙරළ එංගලන්ත ව්‍යාපාරයකට

- Advertisement -

සීග්‍ර ඛාදනයක් සිදුවෙමින් පවතින නැගෙනහිර වෙරළ තීරයේ අක්කරෙයිපත්තු සිට පොතුවිල් දක්වා දැවැන්ත ඛනිජ කැණීම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එංගලන්ත සමාගමකට ආණ්ඩුව විසින් අවසර ලබා දී තිබේ.

එංගලන්ත සමාගමක් වන කැපිටල් මෙට්ල්ස් පෞද්ගලික සමාගම සමග මෙරට ක්‍රියාත්මක දම්සිලා එක්ස්පෝර්ට්ස් සමාගම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

මෙම වෙරළේ ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් සහ ගාර්නට් යන ඛනිජ ද්‍රව්‍ය බහුලව ඇති බවත්, මේ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 35ක (රුපියල් මිලියන 7,000ක) ආයෝජනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව අදාළ එංගලන්ත සමාගම මගින් ප්‍රසිද්ධියට පත්කර තිබේ.

මේ පිළිබඳව අප තොරතුරු විමසීමට එංගලන්ත සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කරන දම්සිලා එක්ස්පෝර්ට්ස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ඉරංග දුනුවිල සම්බන්ධ කරගත්තද, ඔහු පැවසුවේ දුරකතනය ඔස්සේ මීට අදාළ කිසිදු තොරතුරක් සැපයීමට නොහැකි බවයි.

මුල් අදියරේදී ඛනිජ වැලි මෙට්‍රික් ටොන් 5,431,709 ක් මෙම වෙරළෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති අතර, වෙරළේ කැණීම් ව්‍යාපෘති 04ක් සහ මුහුදේ කැණීම් ව්‍යාපෘති 05ක් සිදුකිරීමට සැලසුම් සකස් කොට ඇත.

මුහුදේ වර්ග කිලෝමීටර් 351ක් පුරා මේ කැණීම් සිදුකිරීමට නියමිත ය.

මෙසේ ලබාගන්නා වැලි, ඔලුවිල් වරායේ ඉදිකෙරෙන පිරිපහදුවකදී වෙන්කෙරෙන අතර, ඉන්පසු ලබාගන්නා ඛනිජ ද්‍රව්‍ය සෘජුවම ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තයට රැගෙන යෑමට අදාළ සමාගම සැලසුම් කර තිබේ.

ඉක්වටෝරියල් පාම් ඔයිල් ඇතුළු නම් කිහිපයකින් හඳුන්වා ඇති මේ සමාගම, අවස්ථා කිහිපයකදීම නම් වෙනස් කර ඇති බව හෙළි වේ.

සමාගම වර්තමාන නම භාවිත කිරීම ආරම්භ කළ 2015 වසරේ සිට මෙවැනි ව්‍යාපෘති සිදු කර නැති බව ද සමාගම් වෙබ් අඩවියේ තොරතුරුවලින් තහවුරු වේ.

බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළ 2013 වසරේදී නැගෙනහිර නවෝදය වැඩසටහනේ ව්‍යාපෘතියක් ලෙස මුල් වරට මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට උත්සාහ දරා තිබිණි.

එහෙත් ධීවර රැකියාවේ නියුතු පවුල් 10,000ක් ප්‍රමුඛ 80,000කට අධික ජනතාවගේ විරෝධය නිසා ව්‍යාපෘතියේ කටයුතු නතර කෙරිණි.

නැගෙනහිර පළාතේ අලයඩිවෙම්බු, තිරුක්කෝවිල් සහ පොතුවිල් ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, මේ වෙරළ තීරය ලංකාවේ වැඩිම වෙරළ ඛාදනයක් සහිත ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇත.

භූවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මේ වෙරළ තීරයේ ශක්තිමත් බව අදාළ ඛනිජ නිසා බවත්, ඒවා යන්ත්‍ර මගින් ඉවත් කිරීමෙන් පසු එය සම්පූර්ණයෙන්ම නැති වන බවත් ය.

මේ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්තිගෙන් මීට පෙර පසුගිය සැප්තැම්බර් මාසයේදී විමසූ විට ඔහු පැවසුවේ තම දෙපාර්තමේන්තුවෙන් මේ ව්‍යාපෘතියට කිසිදු අවසරයක් ලබාදී නැති බවයි.

එවැනි ව්‍යාපෘතියක් පිළිබඳ සාකච්ඡාවක් පමණක් තිබෙන බවත්, විද්‍යාත්මක අධ්‍යයනයකින් පසු ඊට අනුමැතිය දිය හැකිද යන්න තීරණය කළ යුතුව ඇති බවත් එහිදී ඔහු සඳහන් කළේය.

ඔහු මේ වනවිට කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් ප්‍රධානියෙකු පත්කර නැත.

එවැනි තත්ත්වයක් යටතේ අදාළ ව්‍යාපෘතියට සම්බන්ධ වන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවලට පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් එවා ඇත.

තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරියෙකු සඳහන් කළේ එම වාර්තාව ජනතා අදහස් සඳහා තබා තිබූ බවත්, පසුගිය මාර්තු 12 දා එම කාලය අවසන් වූ බවත් ය.

මේ පිළිබඳ අදාළ ප්‍රදේශවාසීන් දැනුවත් කර හෝ නැත.

මේ අතර අක්කරෙයිපත්තු වෙරළ තීරයේ ඛනිජ වැලි කැණීම් පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවත්, තමන් ඇමති ධුරය බාරගැනීමෙන් පසු එවැනි කිසිදු කැණීමක් සඳහා අවසර ලබානොදුන් බවත්, එසේ ලබාදෙන්නේ නම් එහිදී පරිසර වාර්තා පුළුල් ව අධ්‍යයනය කළ යුතු බවත් පරිසර ඇමති මහින්ද අමරවීරගෙන් කළ විමසීමකදී පැවසීය.

RECENT ARTICLES - SINHALA

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ, ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා අද (16) පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා මියයන විට ඒ මහතා 92 වැනි වියේ පසුවුණා. 1931...

බන්ධනාගාර තුළ සැකකරුවන්ට මුර ක්‍රමයට නිදාගන්න වෙලා

බන්ධනාගාර තුළ රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 300%කින් ඉහළ ගොස් තිබෙන බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා. මෙරට තුළ බන්ධනාගාර 36ක් පවතින අතර ඒවායේ රැදෙවිය හැකි රැදවියන් සංඛ්‍යාව...

Breaking : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා මියගොස් තිබෙනවා. පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ නිවසේ දී විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ දී විදුලි සැර...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...