ආණ්ඩුව හිතාමතාම වීවලට සහතික මිලක් ලබා දීම පමා කළ බවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සිදුකර ඇති ප්‍රකාශයට ගොවි සංවිධානවල විරෝධය පළවී තිබෙන බව මව්බිම පුවත්පත වාර්තා කරනවා.
මෙතෙක් ඉතිහාසයේ කිසිදු කෘෂිකර්ම ඇමතිවරයෙකු මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් කඩිනමින් සහතික මිලක් ප්‍රකාශයට පත් නොකළහොත් ආණ්ඩුවට විරුද්ධව ගොවි ජනතාව මහමග විරෝධතාවලට යොමුවන බව ත් එම සංවිධාන නියෝජිතයින් පවසනවා.
ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කළේ වීවලට සහතික මිලක් ප්‍රකාශයට පත් නොකර අවම මිලක් ලබාදෙනවා යැයි පවසමින් ගොවි ජනතාව නොමඟ යැවීමට කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරයා උත්සාහ කරන බවයි.
පෞද්ගලික අංශය තෙත වී කිලෝවක් රුපියල් 140ට මිල දී ගන්නා බවට ඇමතිවරයා අසත්‍ය ප්‍රකාශයක් සිදුකර ඇතැයි පැවසු තෙන්නකෝන් මහතා වෙළෙන්දන් මහ කන්නයේ වී තොග රුපියල් 90-95 වැනි මිලකට ගොවීන්ගෙන් ලබා ගනිමින් සිටින බව පවසා සිටියා.
ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් ආණ්ඩුව මෙවර අවම වී මිල ප්‍රකාශයට පත්කිරීම හිතාමතා පමා කළ බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා කොළඹදී පසුගියදා (27) පැවසුවා.
පෞද්ගලික වෙළෙන්දන් තෙත වී කිලෝවක් රුපියල් 140ක් හා වියළි වී කිලෝවක් රුපියල් 160ක් බැගින් මිල දී ගෙන තිබෙන බව පැවසු නියෝජ්‍ය ඇමතිවරයා ගොවියාට දැනට වී මිල හෝ වී අලෙවි කිරීම පිළිබඳව ගැටලුවක් ඇති වී නැති බවත් මෙම පරිසරය තුළ රජය අවම මිලක් ප්‍රකාශයට පත් කළ හොත් වී මිල අඩුවන බවත් සඳහන් කළා.
රජය මිල දී ගන්නා වී තොග අලෙවි නොකර සහල් නිෂ්පාදනයට යොදවන බවත් එවිට පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදිය හැකි බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.
පොහොර සහනාධාරය අතහැර ගොවියා වී නිෂ්පාදනයට වැය කරන මුදලට සියයට 30ක් එකතු කර ඉදිරියේදී අවම වී මිල තීරණය කරන බවද ඔහු පැවසුවා.