29 C
Colombo
Thursday, April 18, 2024

රට තුළට ගුණාත්මක ඖෂධ ගෙන ඒමට ඉඩ නොදෙන්නේ කූඨ ව්‍යාපාරිකයින් – රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්

- Advertisement -

රට තුළට ගුණාත්මකභාවයෙන් උසස් ඖෂධ ගෙන ඒමට ඉඩ නොදීම සඳහා පැරණි ඖෂධ ජාවාරම්කරුවන් ගෙනයන ක්‍රමන්ත්‍රණකාරි වැඩපිළිවෙළට රාජ්‍ය සේවකයින්, කූඨ ව්‍යාපාරිකයින් මෙන්ම ජාතික ඖෂධ නියාමක අධිකාරියේ නිලධාරින්ද සම්බන්ධ බව රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අද (06) අධිකරණය හමුවේ පැවසුවා.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල් දත්ත පද්ධතියේ දත්ත මැකියාම සම්බන්ධයෙන් වු නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ අද පෙරවරුවේ කැදවූ අවස්ථාවේදීයි.

එහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එපික් ලංකා ටෙක්නොලොජීස් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවරයාට ඇප ලබාදෙන ඔහු වෙනුවෙන් පෙනී සිටි ලෙස ජනාධිපති නීතිඥ සාලීය පීරිස් මහතා ඉල්ලීමක් කළා.

ස්වාමිනි මේ නඩුව සම්බන්ධයෙන් මාගේ සේවාදායකයාගේ මතය වන්නේ එම දත්ත අතපසුවීමකින් මැකුණා කියන එක. පැමිණිල්ල දක්වන පරිදි එය මැකුවාද නැත්තම් අතපසුවීමකින් මැකුණාද කියන එක නඩු විභාගයක් අවසානයේ පරිගණක විශේෂඥායින් විසින් කළ යුතු දෙයක්. නමුත් මේ අවස්ථාවේ කළ යුත්තේ ඇප සලකා බැලීම. පරිගණක අපරාධ පණත යටතේ ඔහුට විරුද්ධව ගොනුකර ඇති චෝදනා ඇප දිය හැකි වැරදි. පොදු දේපල පණත යටතේ චෝදනා ගොනුකර තිබුණාට දත්ත කියන ඒවා චංචල දේපලවලට වැටෙන්නේ නැහැ. ඒ නිසා මෙම සිදුවීමෙන් මහජන කැලඹිමක් ඇතිවී නොමැති බැවින් සහ මෙම සැකකරුට සාක්ෂිකරුවන් කෙරෙහි බලපෑම් කළ නොහැකි බැවින් ඔහුට ඇප ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් සැකකරුට මෙම අවස්ථාවේ ඇප ලබාදීමට තමන් විරුද්ධ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා පැවසුවා.

“ස්වාමිනි උගත් ජනාධිපති නීතිඥතුමා කියනවා මේ සිද්ධියෙන් මහජන කැලඹිමක් ඇතිවුනේ නැහැ කියලා. වසංගතයක් පවතින අවස්තාවක රටතුළ විශාල ඖෂධ ඉල්ලුමක් පවතිද්ධි ඊට සම්බන්ධ දත්ත පද්ධතියක දත්ත මැකීම තුළ කොහොමද මහජන කැලඹිමක් ඇති නොවුනා යැයි කියන්නේ. ව්‍යවස්ථාදායකයේ පවා මේ ගැන කතා වෙනවා. ස්වාමිනි විත්තිය කියන්නේ මේ දත්ත මැකිම අතපසුවීමක් කියලා. නමුත් මොහු බබෙක් නෙමේ. මොහු පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. ඒ වගේම මොහු මෙම ආයතනයේ රැකියාවට ඒමට ප්‍රථම වසර 03ක් නාවික හමුදා නිලධාරියෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා. එවැනි පරිණත පුද්ගලයෙකුගෙන් මෙවැනි අතපසුවීමක් විය හැකිද? අනික ස්වාමිනි දත්ත ලේඛන 50ක්, 60ක් මැකුණානම් අතපසුවීමක් කියලා හිතන්න තිබුණා. නමුත් දත්ත ලේඛන ලක්ෂ 11ක් මැකීම අතපසුවීමක් වෙන්න බැහැ. ඔහු එම ලේඛන සියල්ල එකට එකතු කරලයි විධානය දීලා තියෙන්නේ මකන්න. පරිගණකය කිහිප වරක්ම එය ප්‍රතික්ෂේප කරද්දිත් මොහු තුන්පාරක් විධාන දීලා තියෙනවා දත්ත මකන්න. ඒ වගේම මේ ජනාධිපති නීතිඥතුමා කියනවා මේක පොදු දේපල ගණයට වැටෙන්නේ නැහැ කියලා. මම අහන්න කැමති මේක පොදු දේපලක් නොවේ කියන්නේ කොහොමද ? මේ දත්ත කියන්නේ රජයේ දේපළ. මේ සැකකරු එහි පරිපාලකවරයා විතරයි. ඔහුට පරිපාලකවරයා හැටියට දත්ත පද්ධතියට ප්‍රවිශ්ඨ වෙන්න නිත්‍යානුකූල අයිතියක් තිබ්බා කියලා ඔහුට බැහැ එම දත්තවලට අනර්ථයක් කරන්න. දත්ත ලේඛන ලක්ෂ 11ක් කියන්නේ භෞතිකව බැලුවොත් මේ අධිකරණ ශාලාවම පුරවන්න පුළුවන්. එහෙම බැලුවොත් මේක හරියට අධිකරණයක තිබ්බ නඩු භාණ්ඩ ගිනි තිබ්බා වගේ වැඩක්. සැකකරු අත්අඩංගුවට අරගෙන විමර්ශන කරලා තාම දවස් 07යි ගතවෙලා තියෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදි මෙම සැකකරුට ඇප දීමට පැමිණිල්ල විරුද්ධයි.”

එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරන ලද විමර්ශන පිළිබඳ වැඩිදුර බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු පැහැදිලි කළා.

“ස්වාමිනි අපි විමර්ශන කරන්නේ ජුලි මාසේ 09 වැනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මැකීම ගැන පමණක්ම නෙමේ. මේක මහා කුමන්ත්‍රණයක්. මීට පෙරත් මෙම දත්ත පද්ධතියේ දත්ත මැකීම්, සැගවීම් වෙලා තියෙනවා. අපි දැනට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ මෙම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සහ සහකාර ඉංජිනේරුවරයා විතරයි. නමුත් මේකට රාජ්‍ය සේවකයෝ, කූඨ ව්‍යාපාරිකයෝ වගේම ජාතික ඖෂධ නියාමක අධිකාරියේ අභ්‍යන්තර නිලධාරින්ගේත් සහය ලැබී තිබෙනවා. මේක වෙන්නේ මෙහෙමයි ස්වාමිනි. ගුණාත්මක බවින් යුත් ඖෂධ මෙරටට ගෙන්වන්න නවක සමාගමක් ටෙන්ඩර් ඉල්ලුම්පතක් ඉදිරිපත් කරපුවාම ඒ ලේඛන ගැන තොරතුරු ඖෂධ නියාමන අධිකාරියේ ඇතැම් නිලධාරින්ගෙන් ජාවාරම්කරුවන්ට යනවා. එවිට ඖෂධ මාෆියාවේ ජාවාරම්කරුවන් මෙම සැකකරු හරහා අලුත් ටෙන්ඩර් ඉල්ලුම්පත් මකා දමනවා. එවිට ඖෂධ නියාමන අධිකාරියට පෙන්වන්නේ පරණ ජාවාරම්කරුවන්ගේ ටෙන්ඩර් අයැදුම්පත් විතරයි. ඒ කියන්නේ පරණ ජාවාරම්කරුවන්ටම ටෙන්ඩරය යනවා. හොඳ ගුණාත්මකබවින් යුත් බෙහෙත් මේ රටට ගෙන්වන්න අලුත් සමාගම්වලට පැරණි ජාවාරම්කරුවන් ඉඩදෙන්නේ නැහැ ස්වාමිනි. ලක්ෂ 11ක් වැනි විශාල දත්ත ප්‍රමාණයක් එකවර මකන්න මේ සැකකරුට විශාල උත්තේජනයක් ලැබෙන්න ඕනේ. අපි ඒ ගැන සොයනවා. මෙම සැකකරු එපික් ලංකා සමාගමෙන් ඉල්ලා අස්වී වැල්ලවත්ත ප්‍රදේශයේ ඩිජිටල් සොලියුෂන් නැමැති පුද්ගලික සමාගමකට එක්වීමට සුදානම්ව සිටියදිත් එපික් ලංකා සමාගම ජාතික ඖෂධ අධිකාරියේ දත්ත පද්ධතියේ පරිපාලන වගකීම මෙම සැකකරු වෙතම පවරා තිබීම බරපතල සැකයකට තුඩු දී තිබෙනවා. ඒ වගේම මේ ක්‍රමන්ත්‍රණයට සම්බන්ධ ජාතික ඖෂධ අධිකාරියේ අභ්‍යන්තර නිලධාරින් ගැනත් අපි විමර්ශනයක් ආරම්භ කරලා තියෙන්නේ.”

දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා සැකකරුට ඇපලබාදීම ප්‍රතික්ෂේප කළ අතර සැකකරු ලබන ඔක්තෝම්බර් 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...