භාෂණයේ නිදහස යනු ඕනෑම රටක පුරවැසියෙකුට හිමිවිය යුතු මූලික අයිතිවාසිකමක් විය යුතුයි. තමන්ගෙ අදහසක් සමාජයට මුදා හරිමින් එය සංවාදයේ යොදවමින් සමාජයට කිසියම් විදිහක පණිවුඩයක්, එහෙමත් නැත්නම් විකල්ප අදහසක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණයි. නමුත් කලෙක පටන් ශ්‍රී ලංකාවේ ඇතිවුණු යම් යම් දේශපාලනික වෙනස්වීම් සමඟ භාෂණයට හිමිවිය යුතු නිදහස සීමිත වෙන්න ගත්තා. භාෂණයේ නිදහස කඩවුනා යැයි කියමින් නොයෙකුත් විදිහෙ අත්අඩංගුවට ගැනීම් පවා සිදුවුනණා. මෙම අත්අඩංගුවට ගැනීම්වල ප්‍රධාන ඉලක්ක බවට පත්වුනේ මාධ්‍යවේදීන්, ලේඛකයින් සහ නිර්මානශීලී අදහස් සමාජයට යොමු කරන්න යම් උත්සාහයක් ගත් පුද්ගලයින්.
මෙම ලිපියෙන් දිගහැරෙන්නේ මෙවැනි ආකාරයට අත්අඩංගුවට ගෙන වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින්ගේ අත්දැකීම් සහ වර්තමාන ශ්‍රී ලංකාවේ භාෂණයේ නිදහසට ඇති බලපෑම් පිලිබඳවයි.
නිදහස් මාධ්‍යවේදී තරිඳුගේ අත්දැකීම
“මාව අත්අඩංගුවට ගන්නවා කියලා කවුරුවත් කිව්වේ නැහැ. එකපාරම වාහනෙන් එළියට ඇදලා ගත්තා. හේතුවක් නැතුව අත්අඩංගුවට ගත්ත එකට විරෝධය දක්වපු නිසා මාව වාහනයට දාගන්න, අතින් පයින් ගහන්න ගත්තා. කොන්ඩෙන් ඇදලා ගත්තා.
මේ තමයි තරිඳු උඩුවරගෙදරගේ කතාව. ඔහු නිදහස් මාධ්‍යවේදියකු මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වශයෙන් ද කලෙක පටන් මේ වනතුරුත් කටයුතු කරමින් ඉන්නවා. උක්ත උපුටනයන්ට අදාළ සිද්ධිය වුණේ 2023 ජූලි 28 වෙනිදා. ඒ බොරැල්ල ප්‍රදේශයේ දී පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට එරෙහිව සංවිධාන කළ විරෝධතා පා ගමනක් වාර්තා කරමින් සිටිය දී යි.
“ඒ වෙද්දී මාව ජීප් එකට දාගෙන ඉවරයි. මාව මැදි වෙන්න දෙපැත්තෙන් පොලිස් නිලධාරින් දෙන්නෙක් වාඩි වෙලා මට වාචිකව දේවල් කියමින් පහර දෙන්න ගත්තා. “ඒ අය මිනිත්තු 10ක් වගේ කාලයක් හිතේ හැටියට ගැහුවා. මගේ මුණටයි, ඔලුවටයි ගැහුවා. නමුත් පොලිසියට ගියාට පස්සේ පහරදිම් සිද්ධ වුණේ නැහැ,” තරිඳු එම සිද්ධිය මතකාවර්ජනය කරමින් අප වෙත පැවසුවා.
එලෙස මෙම සිද්ධිය වාර්තා කරමින් ත්‍රිරෝද රථයක් තුළ සිටිය දී තරිඳු උඩුවරගෙදරව පොලිස් කැරලි මර්දන ඒකකය ද ඇතුළුව තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු විසින් අත්අඩංගුවට ගනු ලබනවා.
ඔහුගේ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාල නඩුව තවමත් විභාග වෙමින් පවතිනවා. ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මෙතෙක් තිබුනු නඩුවාර කිහිපයේදීම ඔහු විසින් කර ඇති වරදකුමක්දැයි කියා මහේස්ත්‍රාත්වරයා අසා තිබුණු බවයි. “එතකොට සිද්ධිය වෙලා දැනට අවුරුද්දකටත් ළඟයි. මට තාම චෝදනා ගොනු කරලා නැහැ. අන්තිම නඩුවාරයේදී මහේස්ත්‍රාත්වරයා කිව්වා ඊළඟ නඩු වාරයේදී මට චෝදනා ගොනු කළේ නැත්නම් නඩු වාරයෙන් මාව නිදහස් කරනවා කියලා.”
මාධ්‍යවේදියෙකුගේ භූමිකාවට අමතරව තරිඳු සිවිල් ක්‍රියාකාරිකයෙක් ලෙසත් සමාජයේ විවිධ කරුණු සඳහා මැදිහත් වෙලා කටයුතු කරනවා.
නමුත් ඔහු සඳහන් කරන පරිදි මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය දිනෙන් දින ඉහළ යමින් පැවතීම ඉදිරියේ දී සමස්ත මාධ්‍යවේදීන්ට අවදානමක් ඇති කරවිය හැකියි. පසුගිය වසරේ සිට මෙය සීග්‍රයෙන් වර්ධනය වන ස්වභාවයක් පෙනෙන්න තියනවා යැයි තරිඳු අප සමඟ පැවසුවා.
තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය භාවිතා කිරීමකදීයි. පහර දෙමින්, හිසකෙස්වලින් අදිමින් කෘර,අමානුෂික සහ අවමන් සහගත ලෙස සලකමින් අත්අඩංගුවට ගෙන ඇති අතර එය 1994 අංක 22 දරණ වධදීමට සහ අනෙකුත් කෲර අමානුෂික නින්දිත සැලකීමට හෝ දඬුවම්වලට එරෙහි වූ සම්මුති පනත යටතේ ද දඬුවම් ලැබිය හැකි වරදක්ද වනවා.
මෙලෙස පොලිසිය විසින් තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ අයුතු අවහිරය, සාපරාධී බලහත්කාරය පෑම, පහරදීම ඇතුළු තවත් වැරදි ගොන්නක් ඈසුරෙනුයි.
ඒ අතරම ඔහුව 2023 ජූලී මාසය වන තෙක්ම පස් වතාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. එක් හේතුවක් නම් ඔහු විසින් ‘සටහන් රේඩියෝ’ යුටියුබ් නාලිකාවේ ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල thumbnail ( නියැදි සේවාව) හි ආණ්ඩුවේ නායකයින්ව සෘජුව විවේචනය කරමින් පළ කරන්නේ ඇයිදැයි ප්‍රශ්න කිරීමටයි.
ඊට අමතරව ප්‍රහසන ශිල්පිනි නටාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී සිදුකළ අදහස් දැක්වීමක් හේතුවෙන්ද මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඉකුත් ජුනි 29 වෙනිදා දැනුම්දීමක් සිදුකර තිබුණා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබුනේ ජුලි මස 04 වෙනිදා ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙසයි.
එමෙන්ම කිසියම් පුද්ගලයෙකුගේ ෆේස්බුක් ගිණුමක පළ කරන ලද පෝස්ට් එකක් බෙදාහැරීම බුද්ධිමය දේපළ වැරදියට යොදා ගැනීමේ වරදක් මත ඔහුව පොලීසියට කැඳවීමක් සිදු කර තිබුණා.
ඒ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය වූ අවස්ථාවක් සම්බන්ධයෙන් තරිඳු උඩුවරගෙදරගේ අත්දැකීමයි.
ICCPR පනත, Stand-up Comedy සහ නටාෂා එදිරිසූරියගේ අත්දැකීම
ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)අ , 15, 15(2) සහ 15(7) වගන්ති වල අන්තර්ගතයන් වල සඳහන් වන්නේ මෙරටේ පුරවැසියෙකුට භාෂණයේ සහ ප්‍රකාශනෙය් නිදහස භුක්ති විඳිය හැකි අවස්ථාවන් ගැනයි.
නමුත් මෑත කාලයේ බොහෝ අත්අඩංගුවට ගැනීම් සිදුවූයේ 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය නොහොත් ICCPR පනත උල්ලංඝණය කිරීම යන චෝදනාව මතයි. එලෙස ශ්‍රී ලංකාව තුළ ICCPR පනත අවභාවිතා කලා යැයි චෝදනාවට ලක්ව ආගමික අපහාසයක් වූ බව පවසා ප්‍රහසන ශිල්පිනියක් සිර ගත කිරීම, මීට උදාහරණයක් ලෙස ගත හැකියි.
පසුගියදා මේ සම්බන්ධයෙන් ඇයට පවරා තිබූ නඩුවෙන් ඇය වරදකාරියක නොවන බවට තීන්දු වූවත් ඇය කෙරෙහි සමාජය දැක්වූවේ දැඩි විරෝධයක්.
Stand-up Comedy නිර්මානවේදිනියක් වන, නතාෂා ගල්කිස්ස ප්‍රදේශයේ ජීවත්වන තරුණියක්. ඇය ඔස්ට්‍රේලියාවේ කලක් වාසය කර ඇති අතර හෙදියක් ලෙස කටයුතු කර තිබෙනවා. එම ජිවන අත්දැකීම් නතාෂා සිය කලාව තුළට කැදවාගෙන ඇති බව ඇගේ නිර්මාන සාක්ෂි දරනවා. ඇය සිදු කළ එක් ප්‍රහසන ඉදිරිපත් කිරීමකින් පසුව ඇයට සිදුවූ සිදුවීම ගැන සහ ඇයව අත්අඩංගුවට ගත් පසුබිම ගැන සංවාදයට නැගුණේ මෙලෙසින්.
“මට වෙච්ච සිදුවීම ගත්තහම ඇත්තටම ඒ වීඩියෝව සංස්කරණය කරපු එකක්. ඒක සමාජ මාධ්‍ය හරහා සංසරණය වුන නිසා තමයි මේ සිදුවීම වුණේ. ඒකත් එක්ක මාධ්‍ය හරහා ඒක වාර්තාකරණය කරපු විදිහ. සමාජ මාධ්‍ය වලින් ඒක ප්‍රසිද්ධ කරපු හැටි.ඒක එක කෝණයකින් දකිනවා මිසක් මම හිතන්නේ නැහැ මිනිස්සුන්ගේ වැරදි ආකල්පයක්? තියෙනවා කියලා. ඒක ඊට වඩා එතනින් එහාට ගිය මාධ්‍යවලින් ඔවුන්ගේ වගකීම ඉටු නොවීම සහ සමහර අවස්ථාවන්වලදී මිනිසුන් එය යම් යම් විදිහට පාවිච්චි කිරීම. ඇත්තටම උනේ විනාඩි දාහතරක වීඩියෝ කොටසේ විනාඩි එකහමාරක කොටසක් සංස්කරණය කරලා ප්‍රසිද්ධ කරපු එක. ඒකෙන් තමයි මිනිස්සු ගොඩක් මාව දැක්කේ.ඉතින් මේක එක කෝණයකින් දකින්න පුළුවන් දෙයක් විදිහට මම දකින්නේ නැහැ,” යනුවෙන් නටාෂා පැවසුවා.
“මෝඩාභිමානය” යනුවෙන් ඇය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රහසන රඟදැක්වීම් මාලාවක එක් කොටසක් අප්‍රේල් 1දා කොළඹ බිෂොප් විද්‍යාලයේ ශ්‍රවනාගාරයේ දී වේදිකාගත කර තිබුණා.
එහිදී වර්තමාන සමාජයේ ‘තරඟයට’ ගොදුරු වූ ගැහැනුන්ගේ හා ළමුන්ගේ අර්බුදය ඇය එමගින් සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරන එක් මාතෘකාවකි.
‘බුදුදහමට අපහාසයක් කළ බවට’ සහ එයට ආධාර අනුබල දීමේ චෝදනාව සම්බන්ධයෙන් නතාෂා එදිරිසුරියට සහ බෲනෝ දිවාකරට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (lCCPR) පනත යටතේ චෝදනා ගොනු කරනු ලැබුවා.
කෙසේවෙතත් යම් පුද්ගලයෙක් කුමන හෝ ආගමකට අපහාසයක් සිදු කළහොත් එයට අදාළව ක්‍රියාත්මක වන නීතිමය ප්‍රතිපාදන කිහිපයක් ලංකාවේ නීතිය තුළ දැකගත හැකියි. මෙහිදී ප්‍රධාන වශයෙන්ම යොදාගෙන ඇත්තේ, 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 15 වැනි පරිච්ඡේදයේ ඇතුළත් නෛතික විධිවිධානයන් ය..
නමුත්, ICCPR පනත පැනවූ දින සිට මේ දක්වා කාලය තුළ බොහෝවිට භාවිත කර ඇත්තේ ආගමික කාරණා මූලික කරගත් සිදුවීම්වලදීයි. විශේෂයෙන්, පුරවැසියන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමා කිරීමට ICCPR පනත අවභාවිත කළ බවට බොහෝ නීතීඥයින් පවා චෝදනා එල්ලකර තිබෙනවා.
එම අවස්ථාවේ ඇය මුහුණ දුන්නු අභියෝගයන් පිලිබඳ විස්තර කරමින් ඇය තවදුරටත් පැසුවේ “මේ සිදුවීම වෙනකොට බියක් දැනෙන්න මට වෙලාවක් තිබුණේ නැහැ. මොකද එකපාරටම මොකක්ද වෙන්නේ කියන එක තමයි මට දැනුනේ. ඒකත් එක්ක මට ලොකු විශ්වාසයක් තිබුණා මොකද මම වැරැද්දක් කළේ නැති නිසා. ඒ වගේම මගේ අවට ඉන්න මිනිස්සු මං වෙනුවෙන් වැඩ කරනවා කියන විශ්වාසය මට තිබ්බා. බය කියන එකක් මට දැනුනේ නෑ කියන්නේ ඊට වැඩිය වෙන හැඟීම් මට දැනුනා.”
පසුව උද්ගතවූ විරෝධයත් සමඟ අදාළ වීඩියෝව තම Youtube ගිණුමෙන් ඉවත් කිරීමට නටාෂා කටයුතු කර තිබූ අතර අන්තර්ජාලය හරහා පැවති සජීවි සංවාදයකදී ඇය සමාව ඉල්ලීමක්ද සිදුකළා.
නමුත් අස්ගිරි මහා විහාර පාර්ශවයේ පුත්තලම මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පුජ්‍ය මීගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියන් පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ ” නටාෂා එදිරිසූරිය සම්බන්ධයෙන් ICCPR පනත යටතේ ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. “
මීට අමතරව නටාෂා සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාද පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කර තිබූ අතර වෙනත් පාර්ශ්ව 08ක් ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණා.
එවන් පසුබිමක 2023 මැයි 28 වනදා අලුයම් කාලයේ නටාෂා එදිරිසූරිය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට පත්වූයේ සිංගප්පුරුවට පිටත්ව යාමට සූදානමින් සිටියදියි.
අනතුරුව බුදු දහමට අපහාස කළේ යැයි පවසමින් ICCPR පනත යටතේ චෝදනා ගොනුකරමින් නටාෂා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කළ අතර පසුව ජුනි 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
Stand-up comedy කලාව පිලිබඳ අදහස් දක්වමින් නටාෂා කියා සිටියේ ස්ටෑන්ඩප් කොමඩි ලංකාවට බොහොම අලුත් කලාවක් යන බවයි. “මෑත අවුරුදු කිහිපය ඇතුළත තමයි ඒක පොඩ්ඩක් ප්‍රසිද්ධ වෙන්න ගත්තෙ. ඒකත් එක්ක ස්ටෑන්ඩ් අප් කොමඩි ටීවී එකෙන් සහ යූටියුබ් එකෙන් බලලා ඒ ගැන අවබෝධයක් ගන්න පිරිසකුත් ඉන්නවා. නමුත් බහුතරයකට stand up comedy කියන එක ගැන අවබෝධයක් නැහැ. ඒක මම ඇත්තටම දකින්නේ හාස්‍ය නැතිකමක් විදිහට නෙවෙයි. තාම එයාලා stand up comedy කියන එක ඉගෙන ගන්න ගමන් ඉන්නෙ. එක එක විදිහේ stand up comedy තියෙනවා. ඒක නිසා ඕඩියන්ස් එක stand up comedy එක ගැන හරියටම දන්නේ නැහැ සහ ඉගෙන ගන්න ගමන් ඉන්නේ ඒක නිසා තාම අපිට ඒ ගැන දෙයක් කියන්න කලින් වැඩියි කියලා හිතෙනවා.”
නටාෂා අප සමඟ තවදුරටත් කියා සිටියේ ඇය ප්‍රහසන කලාව පිලිබඳ තව ඉගෙන ගත යුතු බවත් සහ අය ලැබූ අත්දැකීම් ඇගේ කලා නිර්මාණ වලට යොදාගන්න බලාපොරොත්තු වන බවයි.
අදහස් ප්‍රකාශනය අපරාධීකරණය කිරීම
වර්තමානයේදී භාෂණය හා ප්‍රකාශනයේ නිදහස ශ්‍රී ලංකාව තුළ අභියෝගයට ලක්වී ඇති ආකාරය හා සහ එහි නෛතික පසුබිම සම්බන්ධයෙන් නීතිඥ විසාකේස චන්ද්‍රසේකරම් මහතා මෙලෙස අදහස් පළ කළා.
“අපේ නීතිය පැත්තෙන් බැලුවොත් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් හැටියට පිළිගෙන තියෙනවා. ඒ වගේම ඒ පරිච්ඡේදයේම යම් යම් සීමාවන් පනවන්න පුලුවන් කියන එකත් පිළි අරන් තියෙනවා. දැන් සමහර අයිතිවාසිකම් තියෙනවා ඒවට කිසිම විදිහකට සීමාවන් පනවන්න බැහැ. නමුත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියකට සමහර අවස්ථාවන්වලදී සීමාවන් පනවන්න පුලුවන්.ඒ සීමාවන් පැනවීමේදී ජාත්‍යන්තර නීතීයේදී පාවිච්චි කරන ඇතැම් සංකල්ප ලංකාවේ නීතියේදී අපි සලකා බලනවා. ජාත්‍යන්තර නීතියෙන් වුණත් මානව හිමිකම් නීතියෙන් වුණත් ඇතැම් අවස්ථාවන්වලදී ප්‍රකාශනයේ අයිතියට යම් යම් සීමාවන් පැනවීමේ අවස්ථා පිළි අරගෙන තියෙනවා. නමුත් මේක ගැඹුරටම ගිහිල්ලා මූලධර්ම ගණනාවක් මේ ජාත්‍යන්තර නීතීයෙන් හදුන්වාදෙනු ලබනවා. ඒ ප්‍රකාශය කිරීමේ අයිතිය සීමා කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතුයි.”
චන්ද්‍රසේකරම් මහතා තවදුරටත් පැහැදිලි කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීම අපරාධීකරණය වී තිබෙන ආකාරයයි. “මම කලින් සඳහන් කරපු තත්වයට වඩා ලංකාවේ තව විශේෂ තත්වයක් තියෙනවා. මෙය හුඟාක් රටවල්වල නැති විශේෂයෙන්ම දියුණු ප්‍රජාත්‍රන්තවාදී රටවල් වල නැති අදහස් ප්‍රකාශනය අපරාධිකරණය කිරීමේ ප්‍රතිපාදන නීතී කිහිපයක් මගින් ලබාදීලා තියෙනවා. පළමුව ඉතාමත්ම කාලයක් තිස්සේ දණ්ඩ නීතී සංග්‍රහයේම තිබුණ යම් යම් ප්‍රතිපාදන, යම් කිසි ආගමික කණ්ඩායමකට සිත් තැවුලන් වෙන ආකාරයේ ප්‍රකාශණයන් තහනම් කරන, ඒ වගේම මහජන සාමය කඩවීමේ ආකාරයේ ප්‍රකාශනයන් තහනම් කිරීම වගේදේවල්. ඊටපස්සේ හදුන්වාදෙනු ලබනවා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් සහ ICCPR පනත යටතේ තවත් සීමාවන්. එතකොට පරන දණ්ඩ නීතී සංග්‍රහයේ නීති සහ අලුත් දණ්ඩ නීතී සංග්‍රහයේ තියෙන වෙනස තමයි මේවායේ පටිපාටිමය වශයෙන් ඇති කරලා තියෙන ප්‍රතිපාදන. ඒ අනුව ඇප ලබා ගැනීම අතිශයෙන් දුෂ්කර කරලා තියෙනවා.”
ඔහු තවදුරටත් කියා සිටියේ, “මේ වගේ හේතු නිසා අපරාධීකරණය තවදුරටත් දරුණු වෙලා තියෙන බවයි. ඊටපස්සේ පොලීසිය මගිනුත් මේ නීතී ක්‍රියාත්මක කරන කොට එය ඉතාමත්ම දේශපාලනීකරණය වෙලා තමයි තියෙන්නේ. දේශපාලනය වශයෙන් යම් යම් න්‍යායන් තියෙන පිරිස්වලට මේක අවභාවිතා කරන්න පුලුවන් කියලා අපි දැකලා තියෙනවා. පසුගිය කාලයේදී විශේෂයෙන්ම ආගමික කණ්ඩායම් වලට, පූජකවරුන්ට, ඒක කරන්න හැකියාව ලැබිලා තියෙනවා. අනෙක් අතට පොලිසිය ඉතාමත්ම පක්ෂග්‍රාහී විදිහට යම් යම් දේශපාලනීකරන අවශ්‍යතා, දේශපාලකයන්ගේ අවශ්‍යතා සැපිරීම සඳහා මේ නීති භාවිතාවට පත් කරනවා.”
එම නිසා මෙම නීතිය තුලින් විශේෂයෙන්ම නිර්මාණකරුවන්ට අගතියක් සිද්ධ වී ඇති බව ඔහු නිරීක්ෂණය කර තිබෙනවා. “නම් වශයෙන් සඳහන් කළොත් නතාෂා එදිරිසූරිය, ශක්තික සත්කුමාර, ජසීම්, උදාහරණ අපට දක්වන්න පුළුවන්. දීර්ඝ කාලයක් මේ අයව ICCPR පනත යටතේත්, ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේත් සිරගත කර තිබෙනවා. ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුණේ එහෙමයි. ඒ වගේම අධිකරණය විසින් ඉක්මනින් ප්‍රශ්නය විසඳීම සඳහා සලකා බලා තිබෙන වාතාවරණය ඉතාම අඩුයි. ඒ නිසා අපි දකින්නේ මොවුන් දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටින තත්ත්වයක්. නමුත් මෙම තත්ත්වය යම්තාක් දුරකට වෙනස් වෙනවා ආදිත්‍ය පටබැඳිගේ විනිසුරුවරයාගේ නඩු තීන්දුව හරහා. විශේෂයෙන්ම නතාෂා එදිරිසූරියට ලබා දුන් නඩු තීන්දුව සලකා බැලීමේදී. ඒ වගේම අනිත් පැත්තක් තියෙනවා; විනිශ්චයකාරවරයාම ඒ නීතිය ඉතාමත්ම ක්‍රමානුකූලව භාවිතා කරලා ඥානසාර භික්ෂූන් වහන්සේට දඬුවම් පමුණනවා.එතකොට අපිට පේනවා යම්කිසි ආකාරයකට සමබර කිරීමක් විශේෂයෙන්ම පටබැඳිගේ විනිශ්චකාරවරයාගේ තීන්දු දෙක හරහා සිදුවෙලා තියෙනවා. එතකොට මේ තීන්දු හරහා ලබා දීලා තියෙන තත්ත්වය දිගටම අපිට ආරක්ෂා කරගන්න පුළුවන් වුණොත් අපිට යම්කිසි ආකාරයකට සිවිල් නිදහසක් ප්‍රකාශනය සම්බන්ධයෙන් ප්‍රකාශනයේ අයිතිය ආරක්ෂා කර ගැනීමට විශේෂයෙන්ම නිර්මාණකරුවන්ට හැකි වෙනවා කියලා තමයි මම පිළිගන්නේ.”
සිවිල් සමාජය මෙම සිද්ධීන් පිලිබඳ ප්‍රතිචාර දැක්වූ ආකාරය පිලිබඳ අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙවන් අදහසක්; “මේකෙ අනිත් පැත්ත තමයි අපි අධිකරණ නීතිය මොනවා කියලා තිබුනත් අධිකරණය නීතිය අර්ථ නිරූපණය කරත් අපේ මහජනයාගේ මතය මොකක්ද කියන එක. අපි දැකපු එක දෙයක් තමයි මහජනයා විශේෂයෙන්ම නිර්මාණකරුවන් කරදරයට පත්වුන වෙලාවේ ඔවුන් වෙනුවෙන් හඬ නැගීමට ඔවුන් වෙනුවෙන් කතා කිරීමට සිවිල් සංවිධානය සහ මහජනයා ඉදිරිපත් වීම ඉතාමත් අඩුයි. නතාෂගේ අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් වුණත් ඇය වෙනුවෙන් ඉදිරිපත්වීමට අපේ නිර්මාණකරුවන් සූදානම් වුණේ නැහැ. හැමෝම අතහැරලා දැමීම වගේ දෙයක් සිදු වුණා . අපිට පුළුවන් විදිහට අධිකරණයට දිවුරුම් ප්‍රකාශ වගේ දේවල් ලබා දීලා තියෙනවා. ඒ හැරුණම අපේ නිර්මාණකරුවන්ව පයින් ගහලා තියෙනවා. අතහැරලා තියෙනවා. ඒක ඉතාමත්ම දරුණු තත්ත්වයක්. එතකොට අපේ නිර්මාණකරණයේ යෙදෙන ප්‍රජාව විසින් නිර්මාණකරුවන්ටම ලබාදෙන පණිවිඩය ඉතාමත්ම අසුභ පණිවිඩයක්. ඉතින් ඒ නිසා බොහෝ නිර්මාණකරුවන් තමන්ගේ ප්‍රකාශනයේ අයිතිය පාවිච්චි කිරීමේදී ස්වයං වාරණයක යෙදෙනවා.”
ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන චන්ද්‍රසේකරම් මහතා කියා සිටියේ අධිපතියන් හෑල්ලුවට ලක්කරන ප්‍රහසන නාට්‍ය අපේ ජන නාට්‍යවල පවා තිබී ඇති බවයි.
“උදාහරණයක් විදිහට පොලිස් කෝලම දිහා බැලුවහම අපි දැකලා තියෙනවා ගමේ තියෙන නාට්‍යවල පවා ඒ අය ඒ විදිහට යොදාගෙන තියෙනවා. එතකොට නටාශා කරන්නේ හිටි වන ප්‍රහසන වැඩසටහන් වගේ දෙයක් නේ . එතකොට ඒක ඒ විදිහටම ලංකාවේ ප්‍රචලිත වෙලා නැතිවුනාට ඒ අදහස ඒ සමානවම තිබිලා තියෙනවා . එනිසා ඒක අපිට කියන්න බෑ මේක බටහිර සංකල්පයක්වත් අලුතින් ආව එකක් කියලවත්.මොකද මේ සංස්කෘතිය අපේ ගැමි සමාජයේ ඉඳල පවා තිබිල තියෙනවා.මං හිතන්නේ නතාෂාගේ ප්‍රශ්නෙදී වුනේ විශේෂයෙන්ම ඇය කාන්තාවක් වීම නිසා ඇයව Target වීම වැඩි වුණා.”
ඉතා ඉක්මනින්ම විය යුතු වෙනස්කම් පිලිබඳ අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ශ්‍රී ලංකාව ICCPR ප්‍රඥප්තියට අත්සන් කරපු රටක් විදිහට අපි බලන්න ඕන කොහොමද ජාත්‍යන්තර නීතියේ තියන සංකල්ප මේ නීතියට එකතු කර ගන්නෙ කියලා. “ඒ සඳහා පැහැදිලිවම යම් යම් සංශෝධන වගයක් සිදුවිය යුතුයි. ඒ සඳහා ඉතාමත්ම වැදගත් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි පටිපාටිමය වශයෙන් අපි ඇප අයදුම් කිරීම සම්බන්ධ නීතිය දණ්ඩ නීති සංග්‍රහයට සමපාතික කිරීම. දෙවෙනි කාරණය අපරාධය නීතියක් හැටියට සලකන්න පුළුවන්ද? උදාහරණයක් විදිහට බැලුවොත් ඕස්ට්‍රේලියාවේ මෙම ප්‍රශ්නය විසඳෙන්නෙ; යම්කිසි ආගමික සහ ලිංගික සුළුතරයකට විරුද්ධව ව්‍යසනයක් වෙන්න පුළුවන් ආකාරයේ ප්‍රකාශනයක් කිරීම අපරාදීමය වරදක් නෙවෙයි ඒක සිවිල් වරදක්. එතකොට සිවිල් වරදක් උනාම හිර කරන්න බැහැ. වන්දි ගන්න පුළුවන්. ඒ වගේම දඩ නියම කරන්න පුළුවන්. එතකොට ඒක ප්‍රමාණවත් එවැනි දේවල් සිදුවීම වළක්වන්න. එතකොට ශිෂ්ඨසම්පන්න සමාජයක එවැනි දේවල් වෙන්නේ නැහැ. ඒකනේ ඥානසාර භික්ෂූන් වගේ කෙනෙක් ගිහිල්ලා අර වගේ කතාවක් කියන්නේ. යම්කිසි ආකාරයකින් එහෙම දෙයක් සිද්ධ වෙන්න ගියොත් ඒකට අපරාද නීතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. එය සිවිල් නීතිය යටතේ දඩ සහ වන්දිවලින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්. දැන් ඕස්ට්‍රේලියාවෙ මානව හිමිකම කොමිසමට සමාන ආයතන තියෙනවා ඒකට පාර්ශවයන් එකඟ වන්නේ නැත්නම් මහේස්ත්‍රාත් අධිකරණයට ගෙනියන්න පුළුවන්. දැන් ලංකාවේ ඒ වගේ දෙයක් කරගන්න ප්‍රතිපාදනය මානව හිමිකම් කොමිසමට අවශ්‍ය කරන සම්පත් නැහැ. ඉතාමත් සුළු සේවක සංඛ්‍යාවක් තියාගෙන තමයි විශාල වැඩ කොටසක් කරන්නේ. ඒ නිසා ඔවුන්ට මෙවැනි දේවල් වලට සම්බන්දවීම ඉතාමත් දුෂ්කරයි,” යනුවෙන් ඔහු පැවසුවා.
සිවිල් අයිතිය සහ සමාජ මාධ්‍ය භාවිතය
එමෙන්ම භාෂණය හා ප්‍රකාශනයේ නිදහස ශ්‍රී ලංකාව තුළ අභියෝගයට ලක්වී ඇති ආකාරය පිළිබඳ නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පළ කළේ මෙවන් අදහසක්;
“මම දකින ප්‍රධානතම ගැටළුවක් තමයි දේශපාලනඥයින් සහ බල පුළුවන්කාරකම් තියෙන පුද්ගලයෝ ඔවුන්ට අපහාස වුණාම හරි ඔවුන්ගේ හිත රිදුනම හරි කවුරුහරි තව කෙනෙක් කරපු ප්‍රකාශනයකට ඔවුන් මේකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) එකට ගිහිල්ලා පැමිණිලි දාන එක. පළවෙනිම දේ තමයි අපහාස කිරීම සම්බන්ධයෙන් CID එකට පැමිණිලි විභාග කරන්න බලයක් නැහැ. මොකද 2002දී රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව ඔය අපරාධමය අපහාස කිරීම කියන එක අපේ දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කරා. ඉතින් එතකොට කාට හරි අපහස වුණා හිත රිදුනා කියන එක එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. තමන්ට කවුරුහරි කරපු ප්‍රකාශනයකින් හිත රිදුන නම් තමන්ගේ පෞද්ගලිකත්වයට, ආත්මාභිමානයට, ආත්ම ගරුත්වයට, කීර්ති නාමයට හානියක් වුනානම් ඒ ඔක්කොටම තියෙනවා සිවිල් නඩු පැවරීමේ අයිතිය. රෝම ලන්දේසි නීතිය යටතේ අපහාස කිරීම, පෞද්ගලිකත්වයට හානි කිරීම එහෙම නැත්නම් ආත්මාභිමානයට හානි කිරීම කියන පදනම් උඩ නඩු දැමීමේ හැකියාව තියෙනවා. නමුත් මෙතැනදී බොහෝ වෙලාවට වෙන්නේ නීතිය අවභාවිතා කරමින් පොලිසිය විමර්ශන කරන්න, ප්‍රකාශ සටහන් කරගන්න පුද්ගලයන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනවා.මේක මෑතක ඉඳන් බහුලව වෙන දෙයක්.”
වේරගොඩ මහතා සමාජ මාධ්‍යවල පළවන සටහන් පිලිබඳ පැවසුවේ, “Facebook එකේ පලකරන දේවල් අපරාධමය වරදක් සංස්ථාපනය නොවන අවස්ථා වලදී පවා CID එකෙන් කැඳවුම් කරනවා Facebook එකේ තිබ්බ ප්‍රකාශනයක් ගැන සටහන් ලියාගන්න එන්නයි කියලා. “එහෙම කරන්න හැකියාවක් නැහැ. Facebook එකේ ඕනෑම පුද්ගලයෙකුට ඕනෑ තරම් ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙමනම් මොන ප්‍රකාශයක් ගැනද මොන සිදුවීම ගැන ද කවුරු කරපු පැමිණිල්ලක් සම්බන්ධවද තීරණය කරන්න හැකියාවක් තියෙන්න ඕන. මම Facebook එකේ දවසකට ප්‍රකාශ 25 ක් විතර දානවනම් කොයි එකෙන් මම කරුණු අරගෙන එන්න ඕනද කියලා මම දැනගෙන ඉන්න ඕන. එහෙම නැතුව මාව CID එකට කැඳවන්න බැහැනේ මේකටයි එන්න ඕන කියලා. ඒගොල්ලොත් එක්ක අල්ලාප සල්ලාපයේ යෙදෙන්න නෙවෙයිනේ මම ඉන්නේ. ඉතින් මේ නීති අවභාවිතා කරනවා ලොකු ලොකු දේශපාලනඥයින්ට හිත රිදුනහම. ඉතින් මටනම් කියන්න තියෙන්නේ දේශපාලනඥයන්ට හිත රිදුනාම එයාලා CID එකට නෙවෙයි යන්න ඕනේ, දේශපාලන නවත්තල ගෙදර ඉන්න ඕනි. මොකද එච්චරටම කැඩෙන සුළු බිඳෙන සුළු හිත්නම් එයාලට තියෙන්නේ දේශපාලනයේ ඉන්න නරකයි . ඉතින් මේ කැඩෙන බිදෙන්න පුළුවන් තරම් ආත්ම විශ්වාසයක් නැති මිනිස්සු කොහොමද දේශපාලනය කරන්නේ, ලොකු තනතුරු දරන්නේ,”
“ඉතින් ඒක නිසා මම නම් කියන්නේ දැනට විශාල බලපෑමක් කරනවා පුද්ගලයන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම තුළින්. ඒකෙන් වෙන්නේ මිනිස්සු කතා කරන්න බය වෙනවා. හුඟක් මාතෘකා කතා කරන්න බය වෙනවා. ඒක ඉතාමත්ම භයානක දෙයක්.එතකොට මේක නිර්මාණකරුවන්ට විශාල බලපෑමක් වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට නතාෂා එදිරිසූරිය, ශක්තික සූරියකුමාර, අත්අඩංගුවට ගත්තා. එහෙම කරන්න බැහැ. දැන් මම කරන නඩුවක් තියෙනවා, ජනාධිපතිතුමා ගැන ප්‍රකාශයක් කරා කියලා තමයි ඔහු අත්අඩංගුවට ගත්තේ. GOTA FAIL කියලා කිව්ව කියලා තමයි ඔහු අත්අඩංගුවට ගත්තේ. ඒ 2020 දී . ඉතින් එහෙම කිරීමේ හැකියාවක් නැහැ. දේශපාලනඥයින්ගේ හිත් රිදවීම් වලට තෙල් බෙහෙත් ගාන්න නෙවෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියෙන්නේ.”
මෙම කරුණු සහ අත්දැකීම් වලින් පෙනී යන්නෙ ලංකාවෙ භාෂණයේ නිදහස සහ අදහස් ප්‍රකාශනය පිළිබඳ ඇති නෛතික රාමු තවදුරටත් වැඩිදියුණු කිරීමට අවකාශය ඇති බවයි.
මෙම ලිපිය සඳහා අනුග්‍රහය සහ උපදේශකත්වය Internews ආයතනය විසින් ලබා දෙන ලදී.