පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන ව්‍යවස්ථාවට ප්‍රකාරව මන්ත්‍රීධුර 19ක පුරප්පාඩු ඇති වූ බවයි.
ඒ අනුව අවස්ථා 18කදී 16 දෙනෙකු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වී ඇති බව සඳහන්.
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ අතර ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ මහතා පත් කෙරුණා.
අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමත් සමඟ ඇති වූ පුරප්පාඩුවට නැවතත් ජයන්ත කැටගොඩ මහතා පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළා.
ඇමරිකාවේ තානාපතිවරයා ලෙස වැඩභාරගැනීම සඳහා මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ලැයිස්තුවේ මීළඟට සිටි ලලිත් වර්ණකුමාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.
අරගල සමයේ රාජපක්ෂ පාලනයට එල්ලවූ දැවැන්ත ජනතා විරෝධය හමුවේ බැසිල් රාජපක්ෂ මහතා පළමුවෙන්ම මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්වුණා.
ඔහුගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්තීු ධූරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නා.
නඩු තීන්දුවක් හේතුවෙන් රන්ජන් රාමනායක මහතා සිරගතවීම නිසාවෙන් සමගි ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවට පිවිසියා.
එමෙන්ම කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධූරය සඳහා තරඟ වැදීමට මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ අසුන සඳහා ඒ.එච්.එම්. ෆවුසි මහතා තේරී පත්වූ අතර ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වූ අධිකරණ තීන්දුවක් අනුව පුරප්පාඩු වූ ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු අසුන සඳහා නැවතත් මුජිබර් රහුමාන් මහතා පත් කර ගනු ලැබුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසට කටයුතු කිරීම පවත්නා ජනතා විරෝධය හමුවේ තවදුරටත් සිදුකළ නොහැකි දෙයක් බව පවසමින් සමගි ජනබලවේගය පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණා.
මේ හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට සිටි නයන වාසලතිලක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූවා.
ආන්දෝලනාත්මක වෙඩි කෑමේ සිදුවීමකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ නිසාවෙන් අනුරාධපුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ලැයිස්තුවේ මීළඟට වැඩිම මනාප ලබා සිටි එස්.සී. මුතුකුමාරණ මහතා පාර්ලිමේන්තුවට පිවිසියා.
අමරකීර්ති අතුකෝරාල මහතා මිය යෑම හේතුවෙන් ජගත් සමරවික්‍රම මහතාත්, සනත් නිශාන්ත මහතා මියයෑම හේතුවෙන් ජගත් ප්‍රියංකර මහතාත්, ඒ. එච් නන්දසේන මහතා මියයෑම හේතුවෙන් වීරසේන ගමගේ මහතාත්, ආර්. සම්බන්ධන් මහතා මියයෑම හේතුවෙන් කදිරවේලු කුගදාසන් මහතාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දුන්නා.
මුස්ලිම් කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතාව පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ නිසාවෙන් අලි සහීර් මවුලානා මහතා හට පාර්ලිමේන්තු වරම් හිමිවුණා.
එමෙන්ම මනූෂ නානායක්කාර මහතාවද පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට අදාළ නඩු තීන්දුවක් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට වැඩිම මනාප ලාභී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාට පාර්ලිමේන්තු වරම් හිමිවුණා.
මෑතකදී සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාල මහත්මිය ඉල්ලා අස්වීම හේතුවෙන් රත්නපුර ලැයිස්තුවේ මීළඟට සිටි කරුණාරත්න පරණවිතාන මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.
මීට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට වජිර අබේවර්ධන මහතාත්, අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට ලක්ෂ්මන් නිපුනාරච්චි මහතාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වුණා.
කෙසේවෙතත් පක්ෂ මාරු කිරීම හේතුවෙන් ලබාදුන් අධිකරණ තීන්දුවක් නිසා පුරප්පාඩු වූ හරීන් ප්‍රනාන්දු මහතාගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා නව මන්ත්‍රීවරයකු පත් කරගත්තේ නැහැ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය වෙනුවට නව මන්ත්‍රීවරයෙකු ලෙස වජිර අබේවර්ධන මහතා පත්වුණා.
මෙම පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම් 4කට ලක්වී ඇති අතර මින් පළමු වාර අවසාන කිරීම් දෙක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලැබුවා.