අනුරාධපුර, නුවර වැව පාරේ, රෝහල් මාවතේ පිහිටා ඇති ඥාණා අක්කා නමින් හදුන්වන කාන්තාවකට අයත් දේවාල භූමියේ යම් කිසි ඉදිකිරීමක් යුද හමුදාවේ ඉංජිනේරු බළකාය විසින් සිදු කරන බවත් යුද හමුදා සාමාජිකයන් විශාල පිරිසක් එහි රැඳී සිටින බවත් වාර්තා වේ.
අදාල ඉදිකිරීම ආවරණ කර ඇති බවත් එම භූමිය වටා විශාල තාප්පයක් ද මේ වන විට ඉදි කරමින් පවතින බව දැකගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් News19 කළ විමසීමකදී යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසූවේ මෙවැනි ආකාරයේ ඉදිකිරීමක් සිදු කරන බවට තමන්ට කිසිදු නිල දැනුම්දීමක් කර නැති බවය. එබැවින් අදාළ ඉදිකිරීම සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ කර නොහැකි බවත් ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත් අදාල ඉදිකිරීම පිළිබඳව සමාජ මාධ්‍ය හරහා තම අදහස් පළ කළ පුද්ගලයෙකුගෙන් ආරක්ෂක අංශ ඒ පිළිබඳව ප්‍රශ්ණ කර ඇති බවත් ඔහුගේ ජංගම දූරකථනය ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් ‘ලංකා පුවත්පත ‘ මේ පිළිබඳව අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්. පී. සෝමදාස මහතාගෙන් විමසීමක් කර ඇත. ඔහු පවසා ඇත්තේ නගර සභාවෙන් එවැනි සැලැසුමක් අනුමත කර ඇති බවය. ඊට අදාළ ඉදි කිරීම්වල වර්තමාන තත්ත්වය සහ එය හෝටලයක්ද නැද්ද යන්න සම්බන්ධයෙන් තමන් නොදන්නා බව ද පැවසූ නගරාධිපතිවරයා, අදාළ අනුමැතියට පිටින් යමක් සිදු වන්නේ දැයි පරීක්ෂා කළ හැකි යැයි ද සඳහන් කර ඇත.
තවද පෞද්ගලික ඉදි කිරීමක් සඳහා යුද හමුදා සාමාජිකයන් යෙදැවිය හැකි දැයි වර්තමාන ආණ්ඩුවේ ඉදි කිරීම් සම්බන්ධයෙන් නිල වගකීමක් දරන ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරියකුගෙන් ලංකා පුවත්පත විමසීමක් කර ඇත. ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ව්‍යාපෘති කළමනාකාරවරයකු වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කුමා හේරත් පැවසුවේ, කිසිදු හේතුවක් මත පෞද්ගලික ඉදි කිරීම් සඳහා යුද හමුදා සාමාජිකයන් යොදා ගත නොහැකි බවයි. යුද හමුදා සාමාජිකයන්ට රජයෙන් වැටුප් ගෙවන්නේ ජාතික ආරක්ෂාව සහ රජයේ කටයුතු සඳහා බවත්, පෞදගලික කටයුතු සඳහා ඔවුන් යෙදැවීම බරපතළ වරදක් බවත් විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා වැඩි දුරටත් සදහන් කර ඇත.
