31 C
Colombo
Thursday, April 18, 2024

GMOA බමුණු කුලේ වියරු වැටී!

- Advertisement -

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යන වචනය ලංකාවේ ක්‍රියාත්මක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගැන හාංකවිසියක් නොදන්නෙකු තේරුම් ගනු ඇත්තේ, විද්‍යාත්මක චින්තනයක් දැක්මක් සහිත, මිත්‍යාව පිටු දකින ප්‍රගතිශීලි සංවිධානයකට යෙදූ නමක් හැටියට ය.

එහෙත් 1926 තරම් ඈතක ආරම්භවී මෙරට ක්‍රියාත්මක වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම්, තම වෘත්තියට පවා නිගාදෙන තරම් විද්‍යාත්මක චින්තනය පිටු දකින, මිත්‍යාමතික, ප්‍රතිගාමී සංවිධානයකි.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වූ සයිටම් විරෝධී සටනේ මහත් කාර්යභාරයක් – මෙරට ප්‍රගතිශීලී සංවිධාන හා එක්ව ඉටු කළ GMOA හැඳින්වීමට අප එකලද භාවිතා කළේ, නූතන බමුණු කුලය යන්නයි. දැන් මේ වචනය ඔවුන්ව හැඳින්වීමට සාකල්‍යයෙන්ම ගැලපෙන්නේ, පෙර බමුණන් මෙන් නිර්ලජ්ජිතව මිත්‍යාවන් කරතබාගෙන යෑමද ඔවුන්ගේ ප්‍රධාන කටයුතු අතර තිබෙන නිසා ය.

1956 සිදුවූ අධ්‍යාපන ප්‍රතිපත්ති නිසා ප්‍රභූ පංතියකට පමණක් සීමාව තුබූ උසස් අධ්‍යාපන වරම් අවවරප්‍රසාදිත දරුවන්ට ද හිමි වූ අතර එයින් සමාජ – සංස්කෘතික වෙනසක් ඇති විය. ඒ නිසාවෙන්, බොහෝ පිරිසක් උසස් අධ්‍යාපන අවස්ථා උදා කරගත්තෝ ය. මාර්ටින් වික්‍රමසිංහයන් එය හැඳින්වූයේ ”බමුණු කුලය බිඳ වැටීම” ලෙසිනි. මෙසේ එවක ”බමුණු කුලය බිඳ වැටීම” හේතුවෙන් බිහි වූ අවකාශය හරහාම වෛද්‍යවරුන් බවට පත් වූ GMOA, 2016 වසරේ දී සිය දරුවන් ජනප්‍රිය පාසල් වෙත ඇතුළත් කරගැනීම සඳහා මාරාන්තික සටනක් ඇති කළෝ ය. සිය දරුවන්ට කෝටාව ලබා නොදෙන්නේ නම් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කරන බවට ද තර්ජනය කළෝ ය. ඒ එදා බිඳ වැටුණා යැයි කී බමුණු කුලය GMOA නැවත ආරම්භ කළ අවස්ථාවයි. තමා මෙන්ම ගම්බද දරුවන් ගණනාවකට අයිති අවස්ථාව සිය දරුවන් වෙත ඩැහැගෙන තම බමුණු කුල නඩත්තුවට කැස කැවීමයි.

සයිටම් සටනට අදාළව GMOA විසින් රජයේ රෝහල්වල වැඩවර්ජනය කරද්දී පෞද්ගලික චැනලින් සේවාවල ප්‍රතිකාර ලබාදුන්නේ යැ යි එහි යාව-ජීව සභාපති අනුරුද්ධ පාදෙණියට පවා චෝදනා එල්ල විය. එවක පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඔහුගෙන් වෙලාවක් වෙන් කරගත් රිසිට්පත් මාධ්‍ය හමුවකදී ප්‍රදර්ශනය කළේ ය.

2018 වසරේ දී වෛද්‍යවරුන්ගෙන් බදු අයකර ගැනීම සම්බන්ධයෙන් ද කතිකාවක් ඇති විය. එම ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ව සිටි මංගල සමරවීර විසින් වෛද්‍යවරුන් ගෙවිය යුතු බදු ප්‍රතිශතය 24% දක්වා වැඩි කළ අතර GMOA එය 12% දක්වා අඩු කරන ලෙසත්, නැතිනම් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කැඳවන බවත් කියමින් තර්ජනය කරනු ලැබීය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ 36000කට ආසන්න ලියාපදිංචි වෛද්‍යවරුන් අතරින් ආදායම් බදු ගෙවන්නේ 6000ක පමණ ප්‍රමාණයක් බවය.

2016 වසරේදී එවක රජය වෛද්‍යවරුන්ගේ තීරුබදු රහිත වාහන ගෙන්වීමේ සීමාවන් දැඩි කළ අවස්ථාවේදීද ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව කියමින් තර්ජනය කළෝ ය.

මෙලෙස, සිය බමුණු කුලය ප්‍රවර්ධනය කිරීම පිණිස බොහෝ කටයුතු කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළිපිටම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කඩේ යන ආයතනයක් බවට රාජපක්ෂ පෙරමුණ අබියසදී පත් විය. එය කිසිදු කොන්දේසියකින් තොරව – විශේෂයෙන් එහි යාව ජීව සභාපති අනුරුද්ධ පාදෙණිය- පොදුජන පෙරමුණේ දේශපාලන හොරණෑකරුවෙක් බවට පත් විය.

එකී හොරණෑව වඩා හොඳින් වයනු පිණිස, කොරෝනා රෝගය උත්සන්න වෙද්දී අමිල සේවාවක් බව ඔප්පු වූ “සුවසැරිය” ගිලන් රථ සේවාව මෙරට ආරම්භ කරද්දී පවා දේශපාලන වාසිය වෙනුවෙන් බේගල් ඇද බාන්නට තරම් මොවුන් නිහීන වූ බව අමතක නොකළ යුතු ය. මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී රජයේ මාණ්ඩලික නිලධාරියෙක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යාව ජීව සභාපති අනුරුද්ධ පාදෙණිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උළෙලේ ප්‍රධාන ආරාධිතයෙක් ලෙසින් 2019 ඔක්තෝබර් 25 දින සහභාගි වීම පිළිබඳව පැමිණිල්ලක් මැතිවරණ කොමිසමට ද ලැබී තිබුණි.

මෙලෙස, සංගමයත්-සාමාජිකත්වයත් රාජපක්ෂ කඳවුරේ දේශපාලනය වෙනුවෙන් එළිපිටම කඩේ යැවීමට මේ පිරිස කටයුතු කළ බව මෙරටට රහසක් නොවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට පත් වූ පසුව එම ආණ්ඩුවේ සියලු අබ්බ-ගොබ්බතා සාධාරණීකරණය කරන්නට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යුහුසුළු විය. විද්‍යාව එසැවිය යුතු අය ම මිත්‍යාව කරතබාගෙන ගියේ කිසිදු හිරිකිතයකින් තොරව ය. පැණි මුට්ටි-දුම් හට්ටි වන්දනාවේ යෑමට තරම් ඔවුන් අලජ්ජි වූහ. ලොව ඇති තාක් සියලු ක්ෂේත්‍රයන්ට මැදිහත් ව මත පළ කරන්නට පාදෙණියලා ඉදිරියට ආවෝ ය. රට මෙතරම් අමාරු තත්වයකට වැටෙන්නට හේතු වූ ඊනියා පොහොර තහනම පවා සාධාරණීකරණය කරන්නට ගොස් ඇති තරම් නාගත් අතර ගවමස් තහනම වැනි අතිශය අවිද්‍යාත්මක දේ සමාජගත කරන තරමට ම මේ සංගමය පිරිහෙළීමට ඔවුන් සමත් වූවෝ ය. සමාජ ජාල අවකාශයන්හි පාදෙණියලා නමින් නිර්මාණය වී ඇති හාස කතා ජනවහරට පවා එක්වෙමින් තිබේ.

මේ සියලු සමාජ අපගමන සිදු කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පරිපාලනය පාදෙණිය ප්‍රමුඛ නඩය අත තබාගන්නට සියලු වෑයම් ගත් අතර කිසි දිනක එහි බලය වෙන පිරිසක් අතට යා නොදී තබා ගත හැකි ආකාරයට සියලු ගැට ගසා තිබේ. දැනට අධිකරණ නියෝගයකින් වාරණය කර තිබුණද පාදෙණියලා, සංගමයේ ටයිපටිය පැළඳ ගොවිතැන් ආදියට උපදෙස් දෙමින් රටේ මාධ්‍ය අබියස වීරයෝ වෙමින් සිටිති.

මේ අතිශය ලැජ්ජාසහගත පහත් හැසිරීම දරාගත නොහැකි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් සාමාජිකයන් මේවා විවේචනය කරන්නට පටන් ගත් අතර, වැඩිමනත් ඒවා සිදුව ඇත්තේ වෛද්‍යවරුන් පමණක් සමාජිකත්වය දරණ සමාජ ජාල පණිවුඩ හුවමාරු සමූහයන් අතර ය. මේ ඊනියා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මරිමෝඩ සහ ගෝත්‍රික ක්‍රියාවන් ඉවසා සිටින්නට ලැජ්ජාවක් සහිත මිනිසුන්ට බැරි බැවින් එවැනි විරෝධයන් මතු වීම සෑහෙන ස්වභාවික ය. දැන් එහි ප්‍රතික්‍රියාව පටන් ගෙන තිබේ. එනම් GMOA එකී විමතික අදහස් පළ කළ සිය සාමාජිකයන්ගෙන් නිදහසට කරුණු ඉල්ලා ලියුම් එවා තිබීමයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අරක් ගෙන සිටින මේ පිශාචයන්ගේ අරමුණ මේ විමතික පිරිස අතුගා දමා ඒ අයගේ ඡන්දවල බලය අහිමි කර දැමීම යි. වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ බොහෝ තීරණාත්මක භූමිකාවල (ස්ථාන මාරු ලබා දීම් වැනි) බලය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අත්කර ගෙන තිබෙන බැවින් හුදෙකලා කැරලි ලෙස ඔවුන්ට විරුද්ධ වන වෛද්‍යවරුන්ගෙන් පළිගැනීමට ඇති හැකියාව ඉමහති. එබැවින් GMOA කලුගලේ ඔළුව ගසා ගැනීමට පිරිසක් බිය වනු ඇත.

එහෙත්, විද්‍යාත්මක ක්ෂේත්‍රයක් අවිද්‍යාවෙන් පුරවන – ගෝත්‍රික දේශපාලනය වපුරන – වචනයෙහි අර්ථයෙන්ම සමාජ සංවර්ධනය විෂයෙහි ප්‍රතිගාමී භූමිකාවක් රඟ දක්වන වත්මන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරිත්වය පරාජය කර දැමිය යුතු ය. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පමණක් නොව පොදුවේ රටත් අරක්ගෙන සිටින ගොලායත් වැනි GMOAව හෙළා දැමීමට ගල්කැට අතින් ගත් නිර්භය ඩේවිඩ්ලා වන් වෛද්‍යවරුන් කිහිප දෙනෙක් අවශ්‍ය වෙයි.

එය මේ මොහොත විසින් දැඩිව ඉල්ලා සිටින තත්වයකි. සිතනවාට වඩා කඩිනමින් එය සිදුවනු ඇත!

සඳුන් ප්‍රියංකර විතානගේ

RECENT ARTICLES - SINHALA

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

හමුදාව හැරගිය අයට පොදු සමා කාලයක්

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා...

දියේ ගිලී පාසල් සිසුවෙක් අතුරුදන්

කාස්ලරී ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ කාසල්රී වතු යායේ පදිංචිව සිටි පාසල්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...