31 C
Colombo
Friday, April 19, 2024

ගෝඨාභය ලසන්ත හා ඇමෙරිකාව..

- Advertisement -


සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්වුණේ මහින්ද රාජපක්ෂ පළමු පාලන යුගයේදී 2009 ජනවාරි 08 වැනිදා අධිආරක්ෂිත කලාපයකදීය. වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අද(8)ට වසර දොළහකි.

ඝාතනයට ලක්වන විට එවක ආණ්ඩුවේ මහා පරිමාණ වංචා දූෂණ රැසක් සන්ඬේ ලීඩර් පුවත්පත හරහා අනාවරණය කෙරුණු අතර වික්‍රමතුංග මහතා මරාදැමීමට ප්‍රථමයෙන් ජනමාධ්‍යවේදීහු විශාල පිරිසක් පිළිවෙලින් ඝාතනයට ලක්වූහ. 

රාජපක්ෂ පළමු පාලන කාලයේදී ඇදී ඇදී කැලේ ගිය අපරාධ විමර්ශනයකින් පසු ලසන්ත වික්‍රමතුංග ඝාතකයන්ගේ සැබෑ සුලමුල අනාවරණය වීමට පටන්ගත්තේ 2015 ආණ්ඩු වෙනසින් පසුවය. සන්ඬේ ලීඩර් කතුවරයාගේ සැබෑ ඝාතකයන් සෙවීම වැලැක්වීමට අපරාධ විමර්ශන යට ගැසූ අයුරුත් ව්‍යාජ තොරතුරු ඔස්සේ විමර්ශන කැලේ යැවූ අයුරුත් අනාවරණය වූයේ මෙම නව විමර්ශන මගිනි. කෙසේ වෙතත් බලලෝභී දේශපාලනයේ පක්ෂ බල ව්‍යාපෘතිය හමුවේ රණවිරු අභිවන්දනයට ද මුවාවෙමින් බාධා පැමිනුණු වික්‍රමතුංග මහතාගේ ඝාතන විමර්ශන දැන් ඇත්තේ නැවතත් දෙවැනි රාජපක්ෂ ආණ්ඩුවේ පාපිස්ස යටය.

කෙසේ වෙතත් නව රාජපක්ෂ ආණ්ඩුව යටතේ සැමරෙන වික්‍රමතුංග මහතාගේ අනුස්මරණය දේශපාලනික වශයෙන් වැදගත් වේ. ඒ, සන්ඬේ ලීඩර් කතුවරයා ඝාතනයට ලක් වනවිට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ එවක ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට රටේ ජනාධිපති බැවිනි. එමෙන්ම 2019 අගෝස්තුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා වශයෙන් සිය නීතිවේදීන් මගින් ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කළ ප්‍රකාශය නිසාය. 

පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස ඔහු පැවැසුවේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන අධිකරණ විමර්ශනයකදී තමන්ට රාජ්‍ය නිලධාරියෙකුට හිමි විනිර්මුක්තිය හිමිවන බවය. ඊට හේතු ලෙස ඔහු පැවැසුවේ ඝාතනය සිදු වන අවස්ථාවේ තමන් ශ්‍රී ලංකාවේ රජයේ නිලධාරියෙකුව සිටි බැවින් එසේ විනිර්මුක්තිය හිමි වන බවය. මෙම ප්‍රකාශය එවකට දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නේය. හේතුව වූයේ මෙම ප්‍රකාශය මගින් අනියමින් කියැවෙන්නේ ඝාතනයට තම සම්බන්ධයක් ඇති බවට වූ පූර්වාපේක්ෂණය මෙම ප්‍රකාශනයෙහි ගැබ්වීම යැයි නීතිවේදීන් තර්ක කිරීමය.

පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා එසේ තර්ක කිරීමට හේතු වූයේ සන්ඬේ ලීඩර් කතුවරයාගේ දියණිය වූ අහිම්සා වික්‍රමතුංග කැලිෆෝනියා අධිකරණය හමුවේ ගොනු කරන ලද නඩුවයි. ඇය මෙම නඩුව පැවැරුවේ තම පියා ඝාතනය කිරීමට ‘කුමන්ත්‍රණය කිරීම, සහය දීම සහ/හෝ අනුබල දීම’ සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ නියෝගදීමේ වගකීමෙන් බැඳෙන බවට චෝදනා කරමිනි. එහිදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි නීතිවේදීහු සිය සේවාදායකයා ඝාතනයට කිසිදු අයුරකින් සම්බන්ධ නැති බව අවධාරණය කරමින් කරුණු තුනක ගෙනහැර පෑහ. විශේෂත්වය වූයේ හිටපු අගවිනිසුරකු වන අශෝකා ද සිල්වා ද රාජපක්ෂ මහතාගේ නීතිවේදී නඩය නියෝජනය කිරීමය.  

1. විත්තිකරුට එරෙහිව චෝදනාව එල්ල කර තිබෙන්නේ ඝාතනය සිදුවන අවස්ථාවේ ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් බැවින් ඔහුට විදේශික රාජ්‍ය නිලධාරියෙකුට හිමි විනිර්මුක්තිය හිමිවීම


2.චෝදනාවලට අදාළ සියලු සිදුවීම හටගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවේ වන අතරම, විත්තිකරු මේවනවිට ශ්‍රී ලංකාවේ වාසය කරන අතර පැමිණිලිකාරිය ද විදේශයක වාසය කරන බැවින් මේ නඩුකරයට එක්සත් ජනපදය කිසිදු අයුරකින් සම්බන්ධ නොවීම නිසා එක්සත් ජනපදයට ඒ සම්බන්ධ අධිකරණ බලයක් නොමැතිවීම.


3.ශ්‍රී ලංකාවේ අධිකරණයට ගරු කරමින් සහ මෙම නඩු විභාගය සඳහා එක්සත් ජනපද අධිකරණයට වඩා ශ්‍රී ලංකාවේ අධිකරණය සුදුසු ස්ථානයක් වීම.

කෙසේ වෙතත් රාජපක්ෂ මහතාගේ නිදහසට කරුණු දැක්වීම හමුවේ ඝාතනය සම්බන්ධයෙන් විශාල විවාදයක් එම කාලයේදී හටගත්තේය. එහිදී ඇතැම් නීතිවේදීන් පෙන්වාදුන්නේ ගෝඨාභය රාජපක්ෂට රාජ්‍ය නිලධාරියෙකුට හිමි විනිර්මුක්තිය හිමිවිය යුතු බවට තර්ක කිරීම මගින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රාජ්‍යයට වගකීමක් තිබෙන බව ඔහු ව්‍යංගයෙන් පිළිගෙන ඇති බවය. බී.බී.සී සිංහල සේවයට මේ ගැන අදහස් දැක් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කලණ සේනාරත්න පෙන්වා දී තිබුණේ ගෝඨාභය රාජපක්ෂගේ නීතිවේදීන් සිය මෝසම මගින් ඉදිරිපත් කර තිබෙන්නේ ඇමෙරිකානු අධිකරණය ඉදිරියේ හිටපු විදේශීය නිලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල වූ අවස්ථාවල සාමාන්‍යයෙන් මතුකරන තර්ක බවය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ගැන ද ඉන්පසු විශාල විවාදයක් හටගත් අතර මැතිවරණ කොමිසමේ එවක සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සෑහීම අනුව ජනපතිවරණයට ඉදිරිපත් වීමට රාජපක්ෂ මහතාට අවස්ථාව ලැබිණි.

කෙසේ වෙතත් මෙහිදී ලියුම්කරුගේ අවධානයට යොමුවන්නේ අධිකරණමය ක්‍රියාවලියට වඩා රාජපක්ෂ මහතා දැක් වූ තර්ක හා ඔහු අද සිටින තනතුර සම්බන්ධයෙනි. ගෝඨාභය රාජපක්ෂ යනු අද ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාය. රාජ්‍ය නිලධාරියකුට හිමි විනිර්මුක්තිය ගැන තර්ක කරමින් අනිමින් ඝාතනයට රාජ්‍යයේ ඇති බැඳීම තහවුරු කළ කළ ඔහුට ලසන්ත වික්‍රමතුංග ඝාතනය මගින් ජනමාධ්‍යටත් පොදුවේ රටටත් පෞද්ගලිකව වික්‍රමතුංග නෑ සිය මිතුරන්ටත් වූ හානිය ප්‍රතිපූර්ණයට දැන් එළැඹ ඇත්තේ හොඳම අවස්ථාවයි. අනෙක් අතට රාජපක්ෂ තර්කනයේ තෙවැනි කරුණ බවට පත් වූ ඝාතන විමර්ශනයේ නෛතික ක්‍රියාවලියට හොඳම අධිකරණය ලංකාවේ ඇති බව සහතික කිරීමට ද දැන් ජනාධිපතිවරයාට පු`ඵවන. ඇමෙරිකාව හා පුරවැසි ප්‍රශ්න ගැන වෙනම කතා කළ හැකිය. 


 ඉතින් ජනාධිපතිතුමනි, මේ ඔබේ වාරයයි.

RECENT ARTICLES - SINHALA

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

ලංකාවෙන් යුක්රේන් යුද්දෙට කුලී හේවායන් යැවූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් යැවීමේ සංවිධානාත්මක ජාවාරමක යෙදුණු සැකකරුවන් දෙදෙනෙකු වූ විශ්‍රාමික මේජර්වරයකු සහ රැකියා ඒජන්සිකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

ස්වයං රැකියාලාභීන්ට විශ්‍රාම වැටුපක්

ස්වයං රැකියාවල නිරත වන්නන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට සැලසුම් කර ඇති බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...