ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අවසන් වාර්තාව අද (19) පස්වරුවේ නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
ඒ අද එම නඩුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු අවස්ථාවේදීයි .
මෙහිදී, ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් ඖෂධය තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර විෂ සහිත වූ බැක්ටීරියා වතුර අන්තර්ගතව තිබූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතීතකරණ අනුමැතිය හිමි ජර්මානු රසායනාගාරයකින් වාර්තා කර ඇති බව නීතිපති අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
එමෙන්ම,පිළිකා නාශක ඖෂධයක් ලෙස පළවන සැකකරු විසින් ලබා දුන් රිටොක්සිමැප් ද්‍රාවණය පරීක්ෂා කිරීමේදී පිළිකාවකට සටන් කළ හැකි කිසිදු ප්‍රෝටීනයක් එහි අන්තරගත නොමැති බවත් ලුණු පමණක් එහි අන්තරගත වන බවත් පරීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී තිබෙනවා.
පරීක්ෂා කිරීමට ලබා දුන් ද්‍රාවණවල අන්තර්ගතය සම්බන්ධයෙන් වූ විශ්ලේෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලුණු වතුර සහ බැක්ටීරියාවන්ගෙන් විෂ වුණ ද්‍රාවණයක් සැපයීමට ජන රජය විසින් ලක්ෂ 1444ක් වැය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි.
නඩුව නැවත ජූලි 16 කැඳවන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය පළවන සැකකරු එම දිනය තෙක් රක්ෂිත බන්ධනාගරගත කරන ලෙස නියෝග කළා.
ඉමියුනොග්ලොබියුලින් සහ රිටොක්සිමැප් යන ඖෂධ සාම්පල් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතීතකරණ සහතිකය ලත් ජර්මනියේ රසායනගාරයක් වෙත යොමු කිරීමෙන් අනතුරුව ලද පරීක්ෂණ වාර්තාවක් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අද (19) අධිකරණය හමුවට ඉදිරිපත් කළා.
මින් පෙර මෙම ඖෂධ පරීක්ෂා කිරීමේදී ඒ තුළ අඩංගු ද්‍රව්‍ය කුමක්ද යන්න පිළිබඳවත් අනාවරණය කර ගැනීමට නොහැකි තත්වයේ පසුවන බව වාර්තා වුණා.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතීතිකරණ සහතිකය ලත් විද්‍යාගාරයකට මෙම ඖෂධය යොමු කර ඒවායේ අඩංගු ද්‍රවය මොනවාද යන්න පරීක්ශා කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණා.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාටත්, ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාටත් මෙම නියෝග යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතීතකරණ සහතිකය ලත් ජර්මනියේ රසායනගාරයක් වෙත යොමු කර පරීක්ෂණ වාර්තාවක් ඉමියුනොග්ලොබියුලින් යන රිටොක්සිමැප් ඖෂධවල ද්‍රාවණවල සාම්පල් යොමු කරනු ලැබුවා.
ඒ අනුව, මේවායේ ද්‍රව්‍යවල අන්තර්ගතය පිළිබඳව විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා, එහි පැහැදිලිව දක්වා තිබෙනවා. කිසිදු ඖධමය ගුණාත්මක භාවයකින් යුතු සංඝටකයක් හඳුනාගැනීමට හැකියාවක් නොමැති බව
එම ද්‍රාවණයේ අඩංගු දේවල් පිළිබඳ පරීක්ෂා කිරීමේදී සාමාන්‍ය තත්වය යටතේ මෙම සාම්පල් තබා පරීක්ෂා කර බලනවා මේවා තුළ බැක්ටීරියා වර්ධනයක්ක් තිබේද යන්න පිළිබඳව,සාමන්‍යයෙන් දවස් 7කට පසුව තමයි බැක්ටීරියා වර්ධනයක් පෙන්වන්නේ නමුත් මේ සාම්පලයෙන් අනවරණය වෙනවා දින තුනකින් මෙම ද්‍රාවණය තුළ බරපතළ ලෙස බැක්ටීරියා වර්ධනයක් දකින්නට තිබුණ බව…
එම බැක්ටීරියා තත්වය හේතු කොටගෙන එය මනුෂ්‍ය ශරීරයට අහිතකර ද්‍රව්‍ය්‍යක් බවට පත් වෙලා තියෙනවා කියන එක වාර්තාවේ දැක්වෙනවා.”
එමෙන්ම, පිළිකා නාශක ඖෂධයක් ලෙස පළවන සැකකරු විසින් ලබා දුන් රිටොක්සිමැප් ද්‍රාවණය පරීක්ෂා කිරීමේදී පිළිකාවකට සටන් කළ හැකි කිසිදු ප්‍රෝටීනයක් එහි අන්තරගතව නොමැති බවත්, සෝඩියම් ක්ලෝරයිඩ් එනම් ලුණු පමණක් අන්තර්ගත වෙනවා” කියලා පැහැදිලි වාර්තාවක් දක්වා තිබෙනවා.
මෙම සැකකරු විසින් ලුණු වතුර සහ බැක්ටීරියාවන්ගෙන් විෂ වුණ ද්‍රාවණයක් සැපයීමට ජන රජය විසින් ලක්ෂ 1444ක් වැය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයෙන් අනාවරණය වෙලා තිබෙනවා.
මෙම නඩුවට අදාළව සැකකරු විසින් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ, තමන්ගේ ලංසුව ඉදිරිපත් කරන අවස්ථාවේ Contract manufacturing කියන වචනය එහෙම නැතිනම් ඉන්දියාවෙන් අදාළ ද්‍රවය මෙරටට ආනයනය කරලා නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් තමයි දක්වලා තියෙන්නේ,
ඒ වගේම මේ ලංසුවේ පැහැදිලිව දක්වලා තිබුණා, ඖෂධය සපයන්නේ පවුඩර් ෆෝමේෂන් යටතේ බව නමුත් 5 වන සැකකරු ආනයනය කරන ලද ඖෂධය භාරගන්නේ ද්‍රාවණයක් විදියට”
ප්‍රශ්නගත එන්නත් සිද්ධියට අදාළ “රිටොක්සිමැප්” ඖෂධය මෙරරට ගෙන්වා ඇත්තේ, උපත් පාලන නිෂ්පාදන පමණක් ආනයනය කළ හැකි වර්ගීකරණයක් යටතේ බවද විමර්ශනයේදී අනාවරණය වූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පෙන්වා දුන්නා.
“ රිටොක්සිමැප්වලට අදාළ ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේ රේගු වර්ගීකරණ අංකය (HS code) 1වන සැකකරු විසින් ඉදිරිපත් කරපු ලංසුවේ දක්වලා තිබුණා, 3006.60.00 විදියට මේ වර්ගීකරණය මොකක්ද කියලා අපි පරීක්ෂා කළා, ඒ අංකය යටතේ ලංකාවට ගෙන්වාන්න පුලුවන් හෝමෝන හෝ ශුක්‍ර නාශක ද්‍රව්‍ය ඇතුළත් රසායනික උපත් පාලන නිෂ්පාදන පමණයි.”
මේවා සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට මඟ හැරෙන කරුණු නෙමෙයි, චේතනාන්විතව සිදු කරන සාපරාධී ක්‍රියා ගණයට වැටෙන වැරදි හැටියට දණ්ඩ නීති සංග්‍රහය හඳුනාගෙන තියෙනවා”
මේ අතර, මෙම නඩුවේ 8 වන සැකකරු වන කෙහෙළිය රඹුල්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ කුමන කරුණු මත එවකට කැබිනට් මණ්ඩලය මෙම ප්‍රශ්නගත එන්නත් ගෙන්වීමේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දී ඇතිද යන්න සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කර තිබුණා.
මේ සම්බන්ධයෙන් 2025 ජූනි 11 වන දින එවකට කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී තිබූ අතර, 8 වන සැකකරු වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කරුණු මත පදනම්ව ඊට අනුමැතිය ලබා දුන් බව එහිදී සඳහන් වුණු බව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.
කැබිනට් පත්‍රිකාවක ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් එය ඉදිරිපත් කරනු ලබන විෂය භාර අමාත්‍යවරයා වගකීමට බැඳෙන බව හිටපු ජනාධිපතිවරයා පැවසූ බවත් ඒ අනුව නඩුවේ 8 වන සැකකරු වන අමාත්‍යවරයා ඊට වගකිව යුතු බවත් නීතිපති දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියා.
එමෙන්ම, ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ සිදු කරන ලද ප්‍රසම්පාදනයට අදාළ ගෙවීම් ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ පියවිය යුතු බවට 2022 නොවැම්බර් 02 වෙනි දින ගනු ලැබූ කැබිනට් මණ්ඩල තීරණයකින් දැනුම් දී තිබියදී, අදාළ සියලු මුදල් පළවෙනි සැකකරුට ශ්‍රී ලංකා ජන රජයෙන් ගෙවීමට කටයුතු කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පවසා සිටියා.
“2022 සැප්තැම්බර් 26 කැබිනට් පත්‍රිකාවෙන් පස්සේ 2022 ඔක්තොම්බර් 25 වන දිනත් 08 වන සැකකරු නැවත ඖෂධ 317ක් සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා ඖෂධ 38ක් ගෙන්වන්න අවසර ඉල්ලුවා, එම ඖෂධ 317 ඇතුළේ 2022 සැප්තැම්බර් 26 ප්‍රසම්පාදනයට ලක් කරන ලද ඖෂධ නැවත ඇතුළු කිරීමක් කරලා තිබුණා, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව. මෙම කාරණය සම්බන්ධයෙන් , මුදල් අමාත්‍යංශයේ ඇමතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශ කැබිනට් අමාත්‍ය මණ්ඩලය විසින් කැඳවා තිබුණා.ඒ නිර්දේශවලින් පැහැදිලිව දන්වමින් කියා සිටියේ ප්‍රසම්පාදනය අනිවාර්යයෙන්ම බව ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ පියවිය යුතු බවට, එවැනි තීරණයක් ගෙන තිබියදී තමයි, අදාළ සියලු මුදල් පළවෙනි සැකකරුට ශ්‍රී ලංකා ජන රජයෙන් ගෙවීමට කටයුතු කරලා තියෙන්නේ”
මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික ආධාර ඒකකයේ සහය ඇතිව මෙම නඩුවේ 1 සිට 12 දක්වා වූ සැකකරුවන්ගේ දුරකථන පරීක්ෂාවක් සිදු කර හෙළිකරගත් තොරතුරු මෙහිදී අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී අනාවරණය වී තිබුණේ, 1 වන සැකකරු වන ඖෂධ සැපයුම්කරු, 8වන සැකකරු වන කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සමඟ දුරකථන ඇමතුම් 8ක් ලබා ගෙන ඇති බවයි.
මහජන නියෝජිතයෙකු වශයෙන් එලෙස සැපයුම් කරු සමඟ දුරකථන ඇමතුම් ලබා ගත්තාදැයි නිරීක්ෂණය කිරීම සඳහා මෙම සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැපයුම්කරුවන් 25 දෙනෙකුගේද දුරකථන පරීක්ෂාවකදී හෙළිව තිබුණේ, අමාත්‍යවරයා ඇමතුම් ලබා ගෙන ඇත්තේ පළවන සැකකරුට පමණක් බවයි.
තවද, මෙම ප්‍රශ්නගත ඖෂධ භාරගැනීමේ ක්‍රමවේදය පිළිබඳව සිදු කළ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මෙම ඖෂධ සැපයුම්කරුවන් වෙතින් භාරගැනීමේදි අනුගමනය කළ යුතු සුපරික්ෂකාරි ක්‍රමවෙද කිසිවක් අනුගමනය කර නොමැති බවයි.
ඒ සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ අධ්‍යක්ෂවරයා පහළ නිලධාරීන්ට උපදෙස් නිකුත් කර නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය දන්වා සිටියා.
එමෙන්ම, මෙම ඖෂධය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විශ්ලේෂණ සහතිකය (Certificate of analysis) 2වන සැකකරු 5වන සැකකරු විසින් නිවැරදිව පරීක්ෂා කර නොමැති බවද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
ඒ සඳහා නිකුත් කර ඇති, විශ්ලේෂණ සහතිකය තුළ , ඖෂධයේ තත්වය විශ්ලේෂණය කළ දිනය ලෙස දක්වා ඇත්තේ, 2022 අප්‍රේල් 22 වන අතර නිෂ්පාදිත දිනය ලෙස සටහන් කර ඇත්තේ 2023 අප්‍රේල් 1 ලෙස ඊට වසරකට පසු දිනයක් බවද හෙළි වී තිබුණා.
එමෙන්ම එම සහිතිකයේ, ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ කුමන ක්‍රමවේදයෙන්ද යන්න දක්වා නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.