30.5 C
Colombo
Wednesday, April 24, 2024

ආණ්ඩුවේ මානව හිමිකම් – හක්කේ බුදුරැස් – බොක්කේ දඩමස් !

- Advertisement -

එක්සත් ජාතීන්ගේ 76 වැනි මහාමණ්ඩල සැසිවාරය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවැත්වූ කතාවේ කොටසක් පහත පරිදි ය.
“ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව, අධිකරණය සහ එහි ඇති ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනවලට තම කාර්යයන් හා වගකීම් ඉටු කිරීම සඳහා සීමාරහිත අවකාශයක් තිබිය යුතු ය.”

ජාත්‍යන්තරයට එසේ කියා, එකී ස්වාධීන යැ යි කියාගන්නා ව්‍යවස්ථාපිත ආයතන බළල් අත් බවට පත් කරගනිමින් ජනතාව මර්දනය කරන ආකාරය ලැජ්ජාසහගතය.

කොතලාවල පණත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහමැතිවරණයෙන් ලැබූ බහුතර බලයට මුවාවෙමින් මෙරට පීඩාකාරී අණපණත් කිහිපයක් සම්මත කරගත් අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පණත් කෙටුම්පතද එවැන්නකි. නැගී ආ සංවිධිත ජනතා විරෝධය හමුවේ එය තාවකාලිකව හෝ හකුළාගන්නට ආණ්ඩුවට සිදු විය. එහිදී ආණ්ඩුව අමනෝඥ ලෙස එකී විරෝධය මැඩලන්නට කළ කටයුතු නිසාවෙන් කාලයක් තිස්සේ වැඩෙමින් තිබූ ගුරු වැටුප් ප්‍රශ්නයද කරළියට පැමිණ ආණ්ඩුවට හිසරදයක් වන මට්ටමට පැමිණ තිබේ.

මර්දනයේ වෙනත් මාන

මුලින් මෙම ජනතා සටන්හි පෙරමුණේ සිටි නායකකාරකාදීන් මර්දනය කිරීම සඳහා ආණ්ඩුව යොදාගත්තේ කොරෝනා මැඩලීම වෙනුවෙන් යොදාගන්නා ලද අණපණත් ය. ඒ කෙරෙහි ජාත්‍යන්තරව පවා එල්ල වූ විරෝධය හමුවේ මර්දනය වෙනත් මානයකින් වේදිකාගත කරන්නට ආණ්ඩුව ක්‍රියාකොට තිබේ. ඒ ජනතා හිතසුව පිණිස ගෙනා පණත් පොලිසිය හරහා අවභාවිතා කරමිනි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පණතට එරෙහිව විරෝධතාවයේ යෙදුණු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පරිපාලන ලේකම් චමීර කොස්වත්ත සහ එම පක්ෂ සාමාජිකාවක වන කෝෂිලා හංසමාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ අගෝස්තු මස 3 වැනි දා රාත්‍රීයේදී ය. අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප් යන දෙදෙනා අගෝස්තු මස 6 වැනි දා අත්අඩංගුවට ගනු ලැබීය. මේ දක්වා ඔවුන් පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතව ය. ඒ අනුව දින 50ක පමණ කාලයක් ඔවුන් පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරයේ ය. යහතින් සිටියදී බන්ධනාගාරයට ඇද දමනු ලැබූ මේ පිරිසට එහිදී කොවිඩ් ආසාදනය වූ අතර ජීවිත අනතුරේ හෙළනු ලැබීය.

ඇප නෑ

දැනගැනීමට ඇති පරිදි, අවස්ථා දෙකකදී මහේස්ත්‍රාත්වරයා උසාවි නොපැමිණ ඇති අතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා නඩුව කල් දැමීම සිදු කර තිබේ. පසුව මහාධිකරණයෙන් කළ ඇප ඉල්ලීමද නීතිපති දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම හමුවේ ප්‍රතික්ෂේප වී තිබේ.

කැරැල්ලක්, යුදමය වටපිටාවක් හෝ හදිසි තත්වයක් රටේ නැති තත්වයක් යටතේ මේ පිරිස මෙතරම් කලක් බන්ධනාගාරගත කර තිබෙන්නේ කෙලෙස ද? 1982 අංක 12 දරණ පොදු දේපණ පණත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. උක්ත පණතට අනුව රුපියල් 5000කට නොවැඩි විෂය වස්තුවක් දේපළ වූ විට නඩු විභාගය අවසන් වන තුරු ඇප නොදී රක්ෂිත බන්ධනාගාරයේ තැබිය හැකිය. අත්අඩංගුවට පත් පිරිසට පොලිසිය නගා ඇති චෝදනාව වන්නේ කාඩ්බෝඩ් පෙට්ටියක් පිළිස්සීම නිසා තාර පාරට රු. 179000කට ආසන්න වටිනාකමකින් යුත් හානියක් සිදුව ඇති බවයි. පොදු දේපණ පණත අනුව ඇප ලැබිය හැක්කේ විත්ති පාර්ශ්වයෙන් – ආසාමාන්‍ය හේතු- දැක්වීමක් කළ විට ඒ අනුව ය. දිගුකාලීන ස්වසන රෝගීන් දෙදෙනෙකු ද ඇතුළත් මේ පිරිස කෙරෙහි අසාමාන්‍ය හේතුවක් ලෙස ස්වසන ආබාධ මරණීය වන කොවිඩ් වසංගත තත්වය කරුණක් ලෙස පිළිනොගැනීම විස්මයදනවන සුළු ය.

අසමාන ලෙස සැලකීම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලන බලය ලබා ගත් දිනේ සිට – එහි සාමාජිකයන් සහ හිතවතුන්ගේ නඩු බොහොමයක් තාක්ෂණික ඈ විවිධ හේතු දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරගත් අවස්ථා ගණනාවකි. ඒ අල්ලස් කොමිසම විසින් පවරනු ලැබූ නඩු සියයකට ආසන්න ගණනක් දේශපාලන පළිගැනීම් ලෙස අර්ථ දක්වමින් විසිවී යන පසුබිමක ය.

නීතිපති ඉවත් කරගත් නඩුකර

මාලබේ කල්වාරි කිතුණු මධ්‍යස්ථානයට පහරදීම පිළිබඳව ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව පවරා තිබූ නඩුව ඉවත් කැර ගැනිණ. තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුවේදී එවක නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩට නඩු පැවරීම නොකරන්නට තීරණය කෙරිණ. බැසිල් රාජපක්ෂ වත්මන් ආමත්‍යවරයාට එරෙහිව සාවද්‍ය මුදල් පරිහරණයක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුව ඉවත් කැර ගත් තව නඩුවකි. ඒ දිවි නැගුම නම් ව්‍යාපෘතියේ ජනතා මුදල් දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් යෙදවීම සම්බන්ධ චෝදනාවකට පැවරූ නඩුවකි.

පොදු දේපළ පණත යටතේ චෝදනා ලත් ගෝඨාභය


මේ අතර විශේෂිත නඩුවක් නම් පාලක රාජපක්ෂවරුන්ගේ පියා වන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමට රජයේ මුදල් ලක්ෂ 900ක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැ යි වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පැවරුණු නඩුවයි. එහෙත් ඒසා විසල් මුදල් චෝදනාවක් ලද්දේ වුවත් ඔහු එවක අත්අඩංගුවට පත් වීමෙන් වළකාලන්නැයි අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබා ගනිමින් අත්අඩංගුවට පත් වීමෙන් පවා මිදුණේ ය. කෙසේ වෙතත් පසුකාලීනව උක්ත මුදල් ගෙවා දැමීම කරණ කොටගෙන ඔහු නිදොස් කොට නිදහස් කරන්නට අධිකරණය තීන්දු කළේ ය.

මේ බොහෝ සිද්ධි සහ පෙරටුගාමී ක්‍රියාකාරිකයන් දින 50ක් දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සිද්ධිය සංසන්දනය කර බැලීමේදී නීතියේ සමානව සැලකීම සම්බන්ධයෙන් පැන නගින්නේ කුකුසකි. අධිකරණ දෙකකින් වරදකරු වූ ජනපති හිතවතා මරණ දණ්ඩනයෙන් නිදහස් කර ජනතා වැටුප් ගන්නා තනතුරකට පත් කිරීම ලෝක ගර්හාවට පත් වූයේද නොබෝදා ය. එහෙත් ලෝකයා ඉදිරියේ හක්කෙන් බුදුරැස් විහිදුවන ආණ්ඩුවේ බොක්කේ තිබෙන්නේ දඩමස් බව මේ කරුණු ලෙහෙසියෙන් ලොවට පෙන්වා දෙයි.

– සඳුන් ප්‍රියංකර විතානගේ –

RECENT ARTICLES - SINHALA

විල්ගමුව වෙළඳසැලක් ඉදිරිපිට තිබී ගිනි අවියක් හමු වෙයි

විල්ගමුව, නුගගොල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට ගිනි අවියක් තිබී සොයාගෙන තිබෙනවා. විල්ගමුව, නුගගොල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක් හිමි කාන්තාවක් අද (24) උදෑසන සිය වෙළෙඳසැල විවෘතකළ පසු එය ඉදිරිපිට...

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මීට සුළු වේලාවකට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. අද...

Breaking: දමිතාට හා සැමියාට ඇප

කොරියාවේ විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනී දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...