සිය ඉල්ලීම්වලට අද (05) දිනය තුළ විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් හෙට (06) දිනයේ සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.
එම වෘත්තීය සමිති ඉකුත් දින කිහිපයේදීද වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වු අතර ඊයේ දක්වා විසදුම් ලබා දීමට බලධාරින්ට අවස්ථාව ලබා දී තිබූ නමුත් බලධාරීන් ඊට නිසි අවධානයක් යොමු නොකළ බවයි පරිපූරක වෛද්‍ය සේවා එක්බද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ.
හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා යනු සම අධ්‍යාපන සුදුසුකම්වලින් බඳවා ගන්නා, සමාන උසස්වීම් ක්‍රමවේද සහ සමාන වරප්‍රසාද සහිත වෘත්තීන් ත්‍රිත්වයක් බවත් එහි සමතුලිතතාව බිඳ වැටීමක් සිදුව ඇති බවත් වර්ජන හේතුවෙන් හෙද සේවයට ලැබුණ වරප්‍රසාද නොදිය යුතු යැයි නොපවසන නමුත් සම වරප්‍රසාද සහිත අනෙක් වෘත්තීන් දෙකට ඒ හරහා අසාධාරණයක් වී ඇති බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පසුගිය දිනක මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා.
විශේෂයෙන් ම, පළමුවන පන්තියේ උසස්වීම් ලබා දීම සඳහා හෙද සේවාවට අඩු කාල සීමාවක් හඳුන්වාදීම හේතුවෙන් අතුරු වෛද්‍ය සහ පරිපූරක වෛද්‍ය සේවා අසාධාරණයට ලක්ව ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ,
මීට අමතරව, හෙද සේවාවේ පමණක් නිල ඇඳුම් දීමනාව ඉහළ දැමීම කනගාටුවට කරුණක් බවත් එවන් කරුණු කිහිපයක් හේතුවෙන් එම වෘත්තීන් ත්‍රිත්වයෙහි තිබූ සමතුලිතභාවය වෙනස් වී ඇති බවත් උපුල් රෝහණ මහතා පැවසීය
උසස්වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල් කරගනිමින් පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පෙරේදා (03) දිනයේ සිට අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි.
අද දිනයේත් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකිරීමට නියමිත අතර අද දිනය තුළ විසදුම් නොලැබුණහොත් හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ.
සෞඛ්‍ය සේවකයින් ආරම්භ කර ඇති මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ දිනයේත් රෝහල් වෙත පැමිණ සිටි රෝගීන් දැඩි අපහසුතාවයන්ට පත්වී තිබුණි.


