27.7 C
Colombo
Friday, December 9, 2022

මාස 06කින් රටක් බංකොලොත් වුණු හැටි

- Advertisement -

නිසි කලට ගත යුතු නිසි තීරණ නොගත් නිසාත්, කිසි කලෙක නොගත යුතු අනිසි තීරණ ගත් නිසාත්, රාජ්‍යයක් කඩා වැටෙන අයුරු අපි දැන් ප්‍රායෝගිකවම අත්විඳිමින් සිටින්නෙමු.

රටේ සල්ලි ඇති පුරවැසියා මෙන්ම සල්ලි නැති පුරවැසියා ද අද වන විට දුප්පතුන් වී හමාරය.

ඔබට සුඛෝපභෝගී මෝටර් රථයක් තිබුණ ද ඊට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම අද වන විට ඔබට ගැටළුවකි. ඔබට පුද්ගලික රෝහලකින් ඉහළ මිලක් ගෙවා වෛද්‍ය සේවා ලබා ගැනීමේ හැකියාව තිබුණ ද රෝහල්වල ඖෂධ ඇතුළු සැපයුම් අඩාල වී ඇත. ඉහළ පෙළේ අවන්හලකින් රාත්‍රී ආහාර වේලක් භුක්ති විඳීමේ හැකියාව ඔබට තිබුණ ද, ගෑස් නොමැතිකමින් සහ එම අධිසුබෝපභෝගී ආහාර මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එවැනි අවන්හල් ගණනාවක්ම මේ වන විට වැසී ගොස්ය.  BMW රථයක හිමිකරුවා වන මහාාපරිමාණ ව්‍යාපාරිකයාත්, බට්ටා ලොරියෙන් එදා දවස සරිකරගන්නා තරුණයාත් එකම ඩීසල් පෝළිමකට තල්ලු කර තිබෙන්නේ අර්බුදයෙන් පැන යාමට කිසිවකුට ඉඩක් නොමැති බව පසක් කරමිනි.

ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බව පසුගිය අප්‍රේල් 12 වනදා නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරුණි.

ශ්‍රී ලංකාව විසින් නුදුරේ දී ගෙවීමට නියමිත විදෙස් ණය පියවීමට මේ අවස්ථාවේ හැකියාවක් නොමැති බව  අප්‍රේල් 12 වනදා පැවති මාධ්‍ය හමුවක දී භාණ්ඩාගාර ලේකම්වරයා හා මහ බැංකු අධිපතිවරයා වෙතින් අනාවරණය වීමත් සමඟම ගෝලීය ණය ‌ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය කඩිනමින් පහළ දමන්නට කටයුතු කළේ, අර්බුදයේ දිග පළල පිළිබඳ භයංකාර පණිවුඩයක් ලෝකයට ලබා දෙමිනි.

පසුගිය ඉරිදා (17) රාත්‍රියේ අද දෙරණ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ වූ එක් පුවතකින් කියැවුණේ පුත්තලමට පැමිණ ඇති ගල් අඟුරු නැව් දෙකකට ගෙවිය යුතු ඩොලර් මිලියන 34ක් සපයා ගැනීමට මේ දක්වා නොහැකි වී ඇති බවකි.  පවතින තත්ත්වය තුළ අදාළ ගෙවීම් නොලැබුණහොත් අදාළ නෞකා දෙක හරවා යාමේ අවදානමක් ද පවතින බව ඉන් කියැවිණ.

ඩොලර් මිලියන 34 ක් තරම් මුදලක්වත් සපයා ගත ‌නොහැකි තැනකට ශ්‍රී ලංකාව වැටුණේ ඇයි?

අද වන විට මෙරටට ආනයනය කරනු ලබන ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු සෑම භාණ්ඩයක් සඳහාම ගෙවීමට ප්‍රමාණවත් ඩොලර් මෙරට බැංකු පද්ධතිය තුළ නොමැති වීමේ අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ ඉන්ධන පිරවුම්හල්, ගෑස් අලෙවිහල්වල දිගු පෝලිම් දක්නට ලැබීමත්, ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා ඔඩුදුවාගොස් රට පුරා අඛණ්ඩ ජනඅගරල සිදුකෙරන තැනකට මහජනතාව තල්ලු කිරීමත් සමගිනි.

පසුගිය කාලය පුරාවට රටේ විදේශ විනිමය නිසියාකාරයෙන් කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපොහොසත් වීම මේ සියල්ලටම හේතු වී තිබේ.

2021 සැප්තැම්බර් සිට 2022 මාර්තු දක්වා මාස 07ක කාලපරිච්‌ඡේදය තුළ නිසි වේලාවේ දී ගත යුතු නිසි පියවර ගන්නට බලධාරීන් උත්සුක වූයේ නම් මෙවැනි අර්බුදයක් අද වන විට අත්විඳින්නට සිදුවන්නේ නැත.

පහත දැක්වෙන්නේ ඒ බව සනාථ කිරීමට අවශ්‍ය කරුණු කාරණා කිහිපයකි.

විදේශ සංචිතයෙන් ජනතාව ඇන්දවීම

2021 අගෝස්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 3,550.70 කි. මෙයින් විදේශ විනිමය වශයෙන් පැවති ප්‍රමාණය ඩොලර් මිලියන 2,957.90 කි.

ශ්‍රී ලංකාව නිල සංචිත වත්කම් ප්‍රකාශ කිරීමේ දී ඒ තුළ අන්තර්ගත මූලික වත්කම් කිහිපයක් වේ. එනම්,

1. විදේශ විනිමය සංචිතය

2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) වෙන් කර ඇති සංචිත

3. විශේෂ ගැනුම් හිමිකම්

4. රන් සංචිතය

5. වෙනත් සංචිත වත්කම්

මෙලෙස නිල සංචිත වත්කම් දැක්වීමේ දී 2021 මාර්තු මාසයේ දී චීන මහජන බැංකුව සමඟ අත්සන් තබන ලද යුවාන් බිලියන 10 ක swap (විනිමය හුවමාරු) පහසුකමට අදාළ මුදල් ප්‍රමාණය ඇතුළත් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලිවම ප්‍රකාශ කර තිබුණි. එය ඩොලර් බිලියන 1.5කට සමාන මුදල් ප්‍රමාණයකි.

2021 නොවැම්බර් මාසය අවසන් වන විට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,588.4 ක් දක්වා සහ නිල විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 1,014.7 ක් දක්වා පහළ වැටෙද්දී පවා අදාළ චීන swap පහසුකමේ ඩොලර් බිලියන 1.5කට සමාන ප්‍රමාණය සංචිතයට එක් කර නොතිබුණේ ඇමරිකානු ඩොලර් වශයෙන් නොව චීන යුවාන් වශයෙන් තිබුණු විනිමයක් වූ නිසා විය යුතුය.

කෙසේවතෙත් 2021 දෙසැම්බර් අවසානය වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 3,137.6 ක් හා විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 2,770.6 ක් ලෙසින් වාර්තා වේ. ඒ පෙර කී චීන swap පහසුකමෙන් ලැබුණු ‌ඩොලර් බිලියන 1.5කට සමාන යුවාන් බිලියන 10 ක් ඊට එකතු කරමිනි.

එක් අතෙකින් එවැනි එකතු කිරීමක් කර සංචිතය වැඩි අගයයක පවතින බව පෙන්වන්නට වුවමාන වුණි නම් ඊට මාස 6-7කට පෙර වුවද එය සිදු කිරීමට හැකියාව තිබුණි. වැදගත්ම කාරණය නම් යුවාන් වශයෙන් ලැබී තිබුණු මුදලක් ඩොලර් වශයෙන් පෙන්වා විදෙස් සංචිතය ඉහළ අගයයක පවතින බවට කළ ඉලක්කම් හරඹයයි. එහි ඵලවිපාක අද අපි භුක්ති විඳින්නේ පොත්වල බිලියන ගණනින් සටහන් තිබුණ ද ගල් අඟුරු නැව් දෙකකට ගෙවීමට අවශ්‍ය ඩොලර් මිලියන 34 ක් සොයාගැනීමට නොහැකි මට්ටමකට රටක් පත්ව ඇති තත්ත්වයෙනි.

පහත දැක්වෙන්නේ 2020 ජනවාරි සිට 2022 මාර්තු දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් පැවති ආකාරයයි. එහිදී 2021 දෙසැම්බර් මාසයේ දී විදෙස් සංචිතය පෙර මාසයට වඩා දෙගුණයක් වී ඇති බව සටහන් වන්නේ චීන විනිමය හුවමාරුවේ ආනුභාවයෙනි.

(සංඛ්‍යා සටහන ඩොලර් මිලියන වලිනි.)

2022 මාර්තු මාසය අවසානයේ දී මෙලෙස ඩොලර් මිලියන 1,723.60 ක විදේශ විනිමය සංචිතයක් ශ්‍රී ලංකාව සතුව පැවතිය ද එයින් භාවිතයට ගත හැකි ප්‍රමාණය වන්නේ පෙර සඳහන් චීන මුදල් හුවමාරුවෙන් ලද යුවාන් බිලියන 10 ක් හෙවත් ඩොලර් බිලියන 1.5ක ප්‍රමාණය අඩු කළ පසු ලැබෙන අගයයි. එනම් ඩොලර් මිලියන 223 කි. අද වන විට එය ඊටත් වඩා පහළ බැස ඇත.

රත්තරන් සංචිතයට වෙච්ච දෙයක්

රටක නිල සංචිත වත්කම් තුළ රත්‍රං සංචිතයට ලැබෙන්නේ ප්‍රමුඛ වැදගත්කමකි. එය විදේශ විනිමය සංචිතය හැරුණු විට ඉහළ ද්‍රවශීලතාවයකින් යුතු වත්කමක් වන බැවින් ඕනෑම රටක් සිය රන් සංචිතයට ඉහළ අවධානයක් ලබා දෙනු ඇත.

2021 අගොස්තු මාසය අවසන් වන විට ඩොලර් මිලියන 390.60ක රන් සංචිතයක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තිබුණි. මෙය පසුගිය මාර්තු මාසය වන විට ඩොලර් මිලියන 29.30 ක් තරම් ඉතා පහළ මට්ටමකට ඇද වැටී තිබීම ඛේදනීය තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙලෙස ශ්‍රී ලංකාවේ රන් සංචිතය මේ සා විශාල ප්‍රමාණයකින් ක්ෂය වීමට අජිත් නිවාඩ් කබ්රාල් හා මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් යන හිටපු මහ බැංකු අධිපතිවරුන් දෙදෙනාම වගකිව යුත්තන් වනුයේ 2020 ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 935.55 ක වටිනකාමකින් යුතු රන් සංචිතයක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති බැවිනි. ‌දැන් ඒ පිළිබඳ කණගාටුවීමෙන් ඵලක් නැත. 2019 ඔක්තෝබර් 31 වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඩොලර් මිලියන 952.18 ක රන් සංචිතයක් තිබුණි.

2020 ජනවාරි මාසයේ සිට 2022 මාර්තු මාසය දක්වා මෙරට රං සංචිතය සිඳී ගිය ආකාරය පහත සටහනින් මනාව පැහැදිලි වනු ඇත.

(සංඛ්‍යා සටහන ඩොලර් මිලියන වලිනි.)

රට විරුවන්ගේ දහඩිය මහන්සියට නිසි මිලක් නොගෙවීම

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරට ‌ප්‍රේෂණය කරනු ලබන ‘රට සල්ලි’ ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මූලාශ්‍රයකි. මේ හරහා 2020 වසරේ දී ශ්‍රී ලංකාවට ලැබී ඇති විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 7.1 කි. එය සමස්තයක් ලෙස ශ්‍රී ලංකාව විසින් 2022 වසරේ දී ගෙවීමට නියමිතව ඇති ඩොලර් බිලියන 6.9 ක් වන මුළු විදෙස් ණය ප්‍රමාණයට සමපාත අගයයකි. එබැවින් එවැනි මූලාශ්‍රයක් ආරක්ෂා කර ගැනීම වගකිව යුත්තන්ගේ ප්‍රමුඛ වගකීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

නමුත් සිදුව ඇත්තේ ඊට හත්පසින්ම වෙනස් ක්‍රියාදාමයකි.

2021 මැයි 17 දින එතෙක් දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළේ ඉල්ලුම් සැපයුම් බලවේග මත තීරණය වුණු එක්සත් ජනපද ඩොලරයක අගය ස්ථාවර මට්ටමක තබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලබන්නේය. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රු. 198 වටා අගයයකත් විකුණුම් මිල රු. 203ට මදක් පහළ අගයයකටත් තබා ගැනීමට මහ බැංකුව තීරණය කරන ලදී. මෙම තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින් 2021 සැප්තැම්බර් 02 දින සිට ඩොලරයක ගැනුම් මිල රු. 198.50 ක් සහ විකුණුම් මිල රු. 202.99 ක් ලෙසින් ඒකීය ස්ථාවර අගයක පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කරනු ලබයි. එම තීරණය මහ බැංකුව හකුලා ගනු ලබන්නේ පසුගිය මාර්තු 07 වන දාය.

මෙම අමනෝඥ තීරණයේ ප්‍රතිඵලයක් ලෙසින් එතෙක් මාසිකව ශ්‍රී ලංකාවට ගලා ආ ඩොලර් මිලියන 500 ක් පමණ වූ විදේස් ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය 2022 පෙබරවාරි වන විට ඩොලර් මිලියන 204.90 ක් තරම් පහළ මට්ටමකට ඇද වැටී තිබේ. මීට මූලික හේතුව විදෙස්ගත ශ්‍රමිකයන්ට ශ්‍රි ලංකාවේ බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් ප්‍රේෂණය කරනවාට වඩා වැඩි මිලක් උන්ඩියල්, හවාලා වැනි අවිධිමත් ක්‍රම ඔස්සේ ලබා ගැනීමට අවස්ථාව ‌ලැබුණු බැවිනි.

මහ බැංකුව ඩොලරයට රු. 202 – 203 ක ස්ථාවර මිලක්  ගෙවීමට කටයුතු කරද්දී මෙරට ඩොලර් කළු කඩයට ද සිත් සේ ව්‍යාප්ති වීමට මඟ පෑදුනේ මහ බැංකුවේ ඒ අදූරදර්ශී තීරණයේ අතුරු ප්‍රතිඵලයක් ලෙසිනි. වැඩි මිල‌ට ඩොලර් ගනුදෙනු කරන මුදල් හුමවාරු කරන්නන්ට නීතිය ක්‍රියාත්මක කිරීම වැනි ක්‍රියාමාර්ගවලට මහ බැංකුව පිවිසුන ද එයින් බැංකු පද්ධතිය හරහා විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලැබෙන මුදල් ප්‍රමාණයෙහි කිසිදු වර්ධනයක් සිදුනොවීය.

එමෙන්ම මෙම කාලයේ දී අපනයනකරුවන් ද සිය අපනයන ඉපැයීම් රුපියල් බවට පරිවර්තනය කිරීමට අධෛර්යමත් වූයේ ඩොලරයකට ලැබෙන රුපියල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවූ බැවිනි.

එබැවින් ඩොලරයේ මිල වෙළෙඳපොළ බලවේග අනුව තීරණය වීමට ඉඩ හැරීමට 2022 මාර්තු 08 දින ශ්‍රී ලංකා මහ බැංකුව සිදුවිය. දැන් මහ බැංකුවේ ඩොලරයක විකුණුම් මිල රු. 340 කි.

2020 ජනවාරි සිට 2022 ‌පෙබරවාරි දක්වා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබුණු ඩොලර් ආදායම පහතින් දැක්වේ.

(සංඛ්‍යා සටහන ඩොලර් මිලියන වලිනි.)

ඩොලර් විකිණීම

විනිමය අනුපාතිකය ස්ථාවර අගයක පවත්වා ගෙන යාමට තීරණය කිරීමත් සමඟම මහ බැංකුවක් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ වෙළෙඳපොළේ අවහ්‍ය කෙරෙන ඩොලර් ද්‍රවශීලතාවය පවත්වා ගෙන යාම වෙනුවෙන් කරන මැදිහත්කරණයයි. එහිදී බොහෝ විට මහ බැංකුවකට දේශීය විනිමය වෙළෙඳපොළේ සිය සංචිතවලින් කොටසක් අලෙවි කිරීමට සිදුවනු ඇත. ඩොලරයක අගය පවත්වා ගෙන යාම වෙනුවෙන් මහ බැංකුව සිදුකරන මෙම මැදිහත් වීම ‘ඩොලර් පිච්චීමක්‘ ලෙස ද සමාන්‍ය ව්‍යවහාරයෙන් හැඳින්වේ.

2021 මැයි මාසයේ සිට එක්සත් ජනපද ඩොලරයක මිල රු. 203 මට්ටමේ පවත්වා ගෙන යාමට තීරණය වුව ද 2021 මැයි සිට අගෝස්තු මාසය දක්වා මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් අලෙවි කර තිබූ ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 11.90 කි.

2021 සැප්තැම්බර් සිට 2022 මාර්තු දක්වා මාස 07 තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපාළෙන් මිල දී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 745.81 කි. නමුත් භයානකම කරුණ නම් රුපියලට ඇතිවන පීඩනය සමනය වෙනුවෙන් ඩොලර් මිලියන 1,745.96 ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට මහ බැංකුව මෙම කාලපරිච්ඡේදය තුළ දී පියවර ගෙන තිබීමයි.

ඒ අනුව ශුද්ධ වශයෙන් මෙම මාස 07 තුළ දී පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව ‘පුච්චා ඇති‘ ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 1,001.33 ක් හෙවත් ඩොලර් බිලියන 1 කි.

යම් ආකාරයකින් මෙම වකවානුවේ දී මහ බැංකුව විදේශ විනිමය සම්බන්ධයෙන් වගකිව යුතු ආකාරයේ මැදිහත් වීමක් කළා නම්, මෙම ලිපියේ මුලින් සඳහන් කළ ආකාරයට ගල් අඟුරු නැව් දෙකක් වෙනුවෙන් ගෙවිය යුතු ඩොලර් මිලියන 34 ක් සපයා ගැනීමේ අර්බුදයට අද වන විට මුහුණ පාන්නට සිදුවන්නේ නැත.

ඩොලරය රු. 203 පවත්වාගෙන යාමේ ඵලවිපාක ලෙසින් විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට බැංකු පද්ධතිය හරහා එවනු ලැබූ ඩොලර් ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයකින් අහිමි වීමත්, රුපියල් රැක ගැනීම වෙනුවෙන් මහ බැංකුව ඩොලර් බිලියනයක් පුච්චා දැමීමත්අද පවතින අර්බුදය නිර්මාණය කිරීමේ මූලික අදියරයන් නොවේ යැයි කිව නොහැක්කේ කාටද?

2020, 2021 සහ 2022 වසරවල දී ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වුණු ආකාරය පහත සටහන් මගින් දැක්වේ.

(සංඛ්‍යා සටහන් ඩොලර් මිලියන වලිනි.)

සල්ලි අච්චු ගැසීම

ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය අනුව මහ බැංකුව විසින් වෙළෙඳපොළට මුදල් නිකුත් කිරීම හෝ වෙළෙඳපොළෙන් මුදල් අවශෝෂණය කර ගන්නා ආකාරය පැහැදිලි කර ගත හැකිය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම නිවේදනය දිනපතා ප්‍රකාශයට පත්කරනු ලබයි.

2020 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණයේ වටිනාකම රු. මිලියන 74,744.37 ක්වූ අතර එය අද (2022 අප්‍රේල් 18) වන විට රු. මිලියන 1,854,228.81 ක් දක්වා ඉහළ ගොස් ඇත.  වත්මන් රජය යටතේ මාස 28ක කාලයක් තුළ මහ බැංකු අච්චු ගසා ඇති මුළු මුදල් වටිනාකම රු. මිලියන 1,779,484.44 ක් වේ. එනම් රු. ට්‍රිලියන 1.77 කි.

එම ගණන ඉලක්කමෙන් ලියුවොත්, ලියවෙන්නේ මෙසේය.

රු. 1,779,484,440,000/-

රජයේ අකාර්යක්ෂම මූල්‍ය ප්‍රත්පත්තියේ තරම පෙන්වීමට මෙම අගය පමණක් දැක්වීම ප්‍රමාණවත්ය.

උද්ධමනය හා පොලී අනුපාතික

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව 2022 මාර්තු මාසයේ උද්ධමන අගය වාර්ෂික පදනම මත 18.7% ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියා තිබුණි. එසේම ආහාර උද්ධමනය 30.2% ක් ලෙසත්, ආහාර නොවන උද්ධමනය 13.4% ක් ලෙසත් එම වාර්තාවේ සඳහන් වේ. එය 2021 ජනවාරි මාසයේ දී දැක්වුණේ 3% ක් ලෙසිනි.

මේ අතර එක්සත් ජනපදයේ පුද්ගලික පර්යේෂණ විශ්ව විද්‍යාලයක් වන John Hopkins හි අර්ථ ශාස්ත්‍රඥ ස්ටීව් හැන්ක් පවසන්නේ Hanke’s Annual Inflation Index ට අනුව 2022 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ උද්ධමනය 74% ක් බවයි.

කෙසේවෙතත් උද්ධමනය මෙයාකාරයෙන් ඉහළ නගිද්දී ඊට සමපාත වන අයුරින් පොලී අනුපාතිකවල ඉහළ දැමීමක් සිදුකිරීමට මහ බැංකුව පියවර ගත්තේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙසින් නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩභාර ගත් පළමු දිනයේ දීම පදනම් අංක 700 කින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමන බව නිවේදනය කරන්නට ඔහුට සිදුවිය.

මෙලෙස පොලී අනුපාතික මේ සා දැවැන්ත අගයයකින් ඉහළ යාමත් සමඟම එයින් ආර්ථිකයට දැනුණු කම්පනය කොපමණදැයි සිතා ගත හැක්කේ එදා සිට මේ දක්වා කොටස් වෙළෙඳපොළ විවෘත කර ගැනීමටවත් හැකියාව ලැබී නොමැති බැවිනි.

සරලව දැක්වුවහොත් විනිමය අනුපාතිකය පාලනයක් සහිතව නිදහසේ තීරණය වන්නට ඉඩ දුන්නේ නම්, පොලී අනුපාතික කෘතිමව පහළ දමා ගෙන නොසිටියේ නම් අද වන විට අප මුහුණ පා සිටින මේ අර්බුදකාරීත්වය මේ තරම් දරුණු ආකාරයෙන් භුක්ති විඳීමට ශ්‍රී ලාංකික පුරවැසියනට සිදුනොවනු ඇත.

පහත දැක්වෙන්නේ මෙරට ආර්ථිකයේ ඉහළ තනතුරු දරන සහ දැරූ පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන කළ ප්‍රකාශ දෙකකි. ඒ අනුව මෙම අර්බුදය ගැන වගකිව යුත්තන් කළ තක්සේරුව හා ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් ඔබට ලැබෙනු ඇත.

පසුගිය අප්‍රේල් 07 දා දෙරණ ‘බිග් ෆෝකස්‘ වැඩසටහන හා එක්වෙමින් ලංකා වානිජ මණ්ඩලයේ උපසභාපති දුමින්ද හුලංගමුව මහතා කළ ප්‍රකාශයක් පහතින් දැක්වේ.

“මම දන්නේ නැහැ අපේ රටේ ජනතාව දන්නවා ද කියලා මේ වෙනකොට තිබෙන දරුණු බව. අපි IMF සාකච්ඡා මේ සතියේ ආරම්භ කළේ නැත්නම්, මූල්‍ය උපදේශකයෙකු පත්කරලා අපේ ණය ප්‍රතිව්‍යූහගත කරන එක කඩිනමින් කරන්න හම්බවෙන්නේ නැහැ.“

“ජූලි මාසයේ අපි ඇමරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් ගෙවිය යුතුව තිබෙනවා. ඒක ගෙවන්න වෙන්නෙත් අපේ සංචිතවලින් තමයි.“

“ඒක ගෙවනවා කියන්නේ ඊළඟ මාස දෙකේ කිසිම ආනයනයක් නොකර අපේ ආදායම සියල්ලම එකතු කරලා ඉතුරු කරන්න වෙනවා මේ ඩොලර් බිලියනය ගෙවන්න.“

“එතකොට මේ රටේ බෙහෙත් නැහැ. විදුලිය නැහැ. තෙල් නැහැ. ගෑස් නැහැ.“

“ඉන්දියාවෙන් එන තෙල් අපිට මැයි මාසය වෙනකම් යයි. ඊට පස්සේ අපි තෙල් ලබාගන්නේ කොහොමද?“

“තත්ත්වය ඉතාම උග්‍රයි. බරපතලයි.“

“අපි කඩිනමින් පියවර ගත්තේ නැත්නම් ජූනි මාසයෙන් පස්සේ මුළු රටම අඳුරේ ඉන්න පුළුවන්.“

“අද අපේ රටේ තියෙන තත්ත්වය අනුව බිලියනයක් නෙමෙයි මිලියන 100ක් වත් ගෙවාගන්න බැරි තත්ත්වයක ඉන්නේ.“

වානිජ මණ්ඩල උපසභාපතිවරයා පෙර කී පරිදි අදාළ තීන්දු තීරණ මීට මාස 06කට පෙර ගත්තා නම් අද අපිට මෙවැනි තත්ත්වයකට මුහුණ පාන්නට සිදුවන්නේ නැත.

තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය තරම් කාලය තිබුණු බවට, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා 2021 සැප්තැම්බර් 27 වැනිදා කළ පහත ප්‍රකාශයට වඩා තවත් සාක්ෂි කුමකට ද?

“IMF එක අපේ තරහාකාරයෙක් නෙමෙයි. IMF එකත් එක්ක අපිට කිසි ගැටළුවක් නැහැ. අපි යම් අවස්ථාවක දී තාක්ෂණික සහායන් ඒ අය‌ගෙන් ලබා ගන්නවා. ඒ වුණාට අපි ඒ අයගේ ප්‍රෝග්‍රෑම් එකට යන්න ඔ්නේ නැහැ. ඒක තමයි අපි කියන්නේ. අපි දැනට අපේ රටේ ඔ්න තරම් සාක්ෂර දියුණුවක් වෙලා තියෙනවා. අපිට තොරතූරු තියෙනවා. අපිට අපේම අවශ්‍ය වෙන වැඩසටහනක් නිර්මාණය කර ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඒක කරන්නේ. ඒක හරහා ඉදිරියට යන්න පුළුවන් ගමනක් තමයි අපි යන්න හදන්නේ.”

“අපේ රට ගැන වොෂිංටන් නගරයෙන් කෙනෙක් ඇවිල්ලා සති දෙකක් ඒ දිහා බලලා, ඒ පිළිබඳ තීරණයක් ගන්න එකද අපිට වැඩිය සුදුසු, නැත්නම් මේ රටේම, මේ රටට වගකියන අය කරන එකද සුදුසු කියලා අපි මුලින්ම තීරණය කරන්න ඔ්නේ. මම මීට පෙර IMF සහ ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරද්දී කියලා තියෙනවා, “For you this is a case study”, ඔබට ශ්‍රී ලංකාව කියන්නේ ඔබ ලියන රිපෝර්ට් එකක්. ඒ රිපෝර්ට් එක සාර්ථක වුණොත් එහෙමයි, අසාර්ථක වුණොත් එහෙමයි. ඔබතුමා ඒ රිපොර්ට් එක ලියලා. පස්සේ කාලෙක ඔබතුමාගේ CV එක ලියද්දී මේ රිපෝර්ට් එක ලිව්වා කියලා කියයි. අපිට එහෙම නෙමෙයි. මේක අපේ රට. මේක අපේ ආර්ථිකය, මේක අපේ මිනිස්සු. කාටද වැඩි කැක්කුමක් තියෙන්නේ. මහ බැංකුවේ වැඩ කරනවා ආර්ථික විශේෂඥයන්, විශ්ලේෂකයන් ගණනාවක්. ඉතාමත් හොඳින් විෂයය දන්න අය. ඒ මේ රට ගැන හොඳ අවබෝධයක් තියෙන අයගෙන් සැලැස්මක් හදන එකද වැඩිය හොඳ, සති දෙකකට කවුරු හරි ඇවිල්ලා වෙන prescription එකකුත් අරගෙන එන අයගෙන් ගන්න එකද වැඩිය හොඳ කියන එක තමයි පළවෙනි කතාව.”

“දෙවෙනි එක අපි දේශපාලනිකවත් මේ රට ඉදිරියට ගෙනියන්න ඔ්නේ. රට කැළඹෙන්න දෙන්න බැහැ. රටේ කීර්තිනාමය හානිවෙන්න දෙන්න බැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ, ණය පැහැර හැරියාම ඒකෙන් වෙන විපාක කොච්චර දරුණු ද කියලා. IMF එකට ගිහිල්ලා debt restructuring කියලා කිව්වාට පස්සේ එතනින් ගැලවෙන්න තව අවුරුදු 10 ක් යනවා. ඒ අවුරුදු 10 දී අපේ තරුණයන්ට අපි මොනවාද කියන්නේ? රැකියාවන් නැතුව ඉන්න කියලාද කියන්නේ? ඒ නිසා credibility කියන එක එන්නේ අපේ කරන ක්‍රියාවන්වලින්. IMF ආවා කියලා credibility එකක් එන්නේ නැහැ. දවස් දෙකකට පස්සේ මේ රටේ කැළඹීමක් ඇති වෙනවා නම් මොන credibility එකක් තිබුණත් එතනින් වැඩක් වෙන්නේ නැහැ. අපිට මේවා පුරුදුයි. මේවා ගැන සාකච්ඡා කරලා අවශ්‍ය වෙලාවට යන්න පුළුවන්. ඉස්පිරිතාලෙට අපි යන්නේ අපිට අමාරුවක් තියෙනවා නම්. ගෙදර කොත්තමල්ලි ටික බීලා හොඳ වෙනවා නම් ඉස්පිරිතාලේ ගිහින් වෙන ලෙඩක් හදාගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මෙතන දී අපි මේ ගැන හොඳට සාකච්ඡා කරලා බලලා, අපි මේ ගැන හොඳට විග්‍රහ කරලා බලලා තමයි මේ තීරණ අරන් තියෙන්නේ. මම හිතන්නේ දැන් තියෙන තත්ත්වයට අපට මුහුණ දෙන්න පුළුවන්.”

– විශේෂ ලියුම්කරුවකු විසිනි

RECENT ARTICLES - SINHALA

රට පුරා යළිත් ගෑස් හිඟයක්?

0
යළිත් රට පුර ලිට්‍රෝ ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බව වාර්තා වනවා. පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් දින කිහිපයක්...

බලසම්පන්න අමේෂ් රුවන්තට අධිකරණයට ලබාදුන් අධිකරණ නියෝගය

0
නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කළ වරදට අත්අඩංගුවට ගත් තරුණයා එළඹෙන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...

ඩයනා ගමගේ පෙත්සමක් නිසා සජිත්ට සහ මද්දුමබණ්ඩාරට නොතීසි

0
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනු කළ පෙත්සමක් හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබන ජනවාරි 25...

RECENT ARTICLES - ENGLISH

What did President do to Rajapaksas? – Reveals Basil

0
SLPP National Organiser Basil Rajapaksa, breaking the months-long silence said it was a correct decision to join with Ranil Wickremesinghe as the...

80% of surgical consumables bought by J’pura hospital for the Neurosurgical unit expired

0
It was revealed at Committee on Public Enterprises (COPE) that 80% of surgical consumables bought by Sri Jayewardenepura Hospital for its neurosurgical...

SLTB Chairman ordered to resign

0
Minister of Transport and Highways Bandula Gunawardena informed the Chairman of the Sri Lanka Transport Board (SLTB), Kingsley Ranawaka to resign from...