29.7 C
Colombo
Thursday, April 25, 2024

තමිල්නාඩුව සහ යාපනය යා කෙරෙන හැටි

- Advertisement -

මෙරට පුනර්ජනනීය ව්‍යාපෘති 2ක් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු කළ ප්‍රකාශයක් හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති පසුබිමක ඉන්දියාවේ තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාවේ යාපනය අර්ධද්වීපය එකිනෙක හා සම්බන්ධ කරන දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවට පමණක් ගැණුනු සහ ක්‍රියාත්මක නොවුණු යෝජනා දෙකකට කැබිනට් මණ්ඩලය අවසර ලබා දුන්නා.

එම යෝජනා දෙක වන්නේ යාපනයේ සිට තමිල්නාඩුවේ තිරුචිරපල්ලි (Trichi) දක්වා ගුවන් ගමන්, සහ යාපනයේ කන්කසන්තුරේ සිට පුදුචේරියේ කරෙයිකාල් දක්වා යාත්‍රා (Ferry) සේවාවක් ආරම්භ කිරීමයි.
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ දෙරට අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් වන මෙම යෝජනා දෙක මේ අවස්ථාවේදී මෙරටට ප්‍රතිලාභ අත්වන විශේෂිත තත්ත්වයක්.

“යෝජනා සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. යාත්‍රා තොටුපළ සඳහා අදාළ අමාත්‍යවරයා විසින් එම යෝජනාව අධ්‍යයනය කර ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කරනු ඇති. කොහොම වුණත් එය ලබන මස වන විට ආරම්භ වේවි,” ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා The Indian Express වෙත පවසා තිබුණා.
දශක 3ක් පුරා ඇදුණු දිගුකාලීන සිවිල් යුද්ධයේ කේන්ද්‍රය වූ උතුරේ දෙමළ ජනතාවගේ ආර්ථික ක්‍රියාකාරකම්වලට ද දායක වන අයුරින් දෙරට අතර සම්බන්ධතා ඇති කර ගැනීම සඳහා වන පියවරක් ලෙස මෙම ගමනා ගමන සම්බන්ධතා ව්‍යාපෘති ද්විත්වය ආරම්භ කිරීම සම්බන්ධයෙන් දිගු කලක් තිස්සේ ඉන්දියාවේ අවධානය යොමුව තිබුණු අතර ඒ සඳහා දෙරට අතර සාකච්ඡා වට ගණනාවක් ද සිදු කෙරුණා. කෙසේ නමුත් විවිධ හේතු මත එම ව්‍යාපෘති ආරම්භය දිනෙනනේ දින පමා වුණා.

යුද්ධයෙන් පසුව උතුරු අර්ධද්වීපයේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම ඉතා මන්දගාමී බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. එවන් පසුබිමක දකුණු ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයින්ගෙන්, මෙරට අවුල් සහගත ආර්ථිකයට වටිනා විදේශ විනිමය උත්පාදන මාර්ගයකට මග පෑදෙනු ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසයි. එමෙන්ම භාෂාමය සමානකම් සමඟ කලාප දෙක අතර සංස්කෘතික බැඳීම් ද ශක්තිමත් වනු ඇති.

තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාවේ උතුරු අර්ධද්වීපය අතර ප්‍රවාහන සම්බන්ධතා ඉතා ඈත අතීතය දක්ව දිවෙනවා. අතීතයේදී කොළඹ සිට තලෙයිමන්නාරම වෙත දුම්රියෙන් ගොස් එතැන් සිට යාත්‍රා සේවාව ඔස්සේ තමිල්නාඩුවට ළගා වීමේ අවස්ථාව ලැබුණා. කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ. සංවිධානය හා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ අතර යුද්ධ ගැටුම් ආරම්භ වීමත් සමග 1970 දශකය දක්වා තමිල්නාඩුව වෙත පලාලි සිට සිදු කෙරුණු ගුවන් ගමන් සහ තලෙයිමන්නාරමේ සිට සිදුකෙරුණු යාත්‍රා සේවාව නතර කර දැමුණේ ආරක්ෂක හේතු මතයි.

එම සම්බන්ධතාව පුනර්ජීවනය කිරීමේ අදහසින් 2009 යුද්ධය අවසන් වීමෙන් පසු තමිල්නාඩුව පාර්ශ්වයෙන් පැමිණි යෝජනා සඳහා කොළඹින් ලැබුණේ එතරම් සුබවාදී ප්‍රතිචාරයක් නොවේ.
කෙසේ වෙතත් හමුදා ගුවන් තොටුපළක් ලෙස පැවති පලාලි ගුවන් තොටුපළ පළමු වරට ජාත්‍යන්තර සිවිල් ගුවන් ගමන් සඳහා 2019 ඔක්තෝම්බර් මාසයේදී විවෘත කරනු ලැබුවා.

චෙන්නායි සිට ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් රැගෙන පැමිණි එයාර් එලායන්ස් ගුවන් යානය එහි ගොඩබසින පළමු ජාත්‍යන්තර ගුවන් යානය වුණා. එය භූගෝලීය වශයෙන් පමණක් නොව සංස්කෘතික හා ඓතිහාසික වශයෙන් ද එකිනෙකට සමීප වූ නගර දෙක අතර පැරණි ගුවන් සම්බන්ධතා යථා තත්ත්වයට පත් කළ සන්ධිස්ථානයක් ලෙස ඉතිහාසයට එක් වුණා. වාණිජ මෙහෙයුම් 2019 නොවැම්බර් 1 වන දින සතියකට ගුවන් ගමන් තුනකින් ආරම්භ කෙරුණේ දෛනික සේවාව ඉක්මනින් ආරම්භ කිරීමට බලාපොරොත්තු ඇතිවයි. නමුත් කොවිඩ් 19, වසංගතය මධ්‍යයේ මාස කිහිපයකින් ගුවන් තොටුපළ වසා දැමීමට සිදුවුණා.

තමිල්නාඩුවේ ඉපැරණි නගරයක් වන තිරුචිරපල්ලි සිට ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ ආගමන සහ රේගු පහසුකම් යාපනය ගුවන් තොටුපළේ යළි ස්ථාපිත කිරීමෙන් පසුව බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා The Indian Express වෙත පවසා තිබුණා.
2021 පෙබරවාරි මාසයේදී යාපනයේ කන්කසන්තුරේ සිට පුදුචේරියේ කරෙයිකාල් දක්වා යාත්‍රා සේවයක් ආරම්භ කිරීමට යෝජනා ඉදිරිපත් කෙරුණා. එවකට නාවික කටයුතු පිළිබඳ ඉන්දීය මධ්‍යම රාජයේ අමාත්‍යවරයාව සිටි Mansukh Mandaviya පවසා තිබුණේ මෙම ව්‍යාපෘතිය රාජ්‍ය – පුද්ගලික හවුල්කාරිත්ව (PPP) පදනමක් මත සිදුවන බවත්, එහිදී අදාල මෙහෙයුම් සපයන්නා විසින් සේවාව පවත්වාගෙන යනු ඇති බවයි. ඒ අනුව ආගමන විගමන සහ රේගු නිෂ්කාශන ලබා ගැනීමේ කටයුතු ද ආරම්භ කෙරුණා.

2021 ජූලි මාසයේදී චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් දොරයිසාමි වෙන්කටේෂ්වරන් කරෙයිකාල් වෙත ගොස් යාත්‍රා සේවය ඉක්මනින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡාවකද නිරත වුණා. ඉන්දීය රජයට අයත් ව්‍යාවසායක් වන Dredging Corporation of India විසින් කන්කසන්තුරේ (KKS) වරාය පුලුල් කිරීමේ කටයුතු ද අවසන් කරනු ලැබුවා.

2018 දී ඉන්දියාව විසින් කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් බවට පත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 45.27 ක් ලබා දුන් බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබුණා.
යාත්‍රා සේවා ව්‍යාපතිය ඉන්දීය රාජ්‍ය ව්‍යවසායක් වන සීමාසහිත සාගර්මාලා සංවර්ධන සමාගම හරහා ක්‍රියාවට නංවනු ඇති බවයි FirstPost වෙබ් අඩවිය වාර්තා කළේ.
මෙම ව්‍යාපෘති දෙක මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගමන් කාලය අඩු කිරීමටත් ආර්ථික ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමටත් අපේක්ෂා කෙරෙනවා.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ආගමික කටයුතු සඳහා නිතර ඉන්දියාවට ගමන් කරන අතර සිංහල ජනතාවද බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කිරීම සඳහා ඉන්දියාවේ සංචාරය කරනවා . මෙම ව්‍යාපෘති දෙක ජාතීන් දෙකෙහිම වන්දනාකරුවන්ට ගමනා ගමන කටයුතු පහසු කරනු නොඅනුමානයි.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා The Indian Express වෙත පවසා තිබුණේ මෙම නව සම්බන්ධතා ද්විත්වය හරහා උතුරු අර්ධද්වීපයේ කෝවිල් වෙත සංචාරක කටයුතු සඳහා දකුණු ඉන්දියාවෙන් සැලකිය යුතු වන්දනාකරුවන් පිරිසක් රැගෙන එනු ඇති බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ ඇති සම්බන්ධය කරෙයිකාල් ප්‍රදේශයේ සංවර්ධනයට සහ විශේෂයෙන් පුදුචේරි වෙත ව්‍යාපාරික හා ආර්ථික සංවර්ධනයක් ගෙන ඒමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මන්නාරම – රාමේෂ්වරම් යාත්‍රා සේවාවක් සඳහා යෝජනාවක්ද කලක සිට පැවති නමුත් මේ වන විට කැබිනට් අනුමැතිය ලබා දී ඇත්තේ කන්කසන්තුරේ – කරෙයිකාල් යාත්‍රා සේවාව සඳහා පමණයි.
රාමේෂ්වරන් වෙත යාත්‍රා සේවාවක් සඳහා ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැති අතර, කරෙයිකාල්හි විශාල භාණ්ඩ ප්‍රවාහන වරායක් තිබීම මීට හේතුවයි.

පසුගිය නොවැම්බරයේදී, Edelweiss විසින් කරෙයිකාල් වරායේ තිබූ සියයට 11 ක කොටස් සමඟ රුපියල් කෝටි 2,059 ක ණය මුදලක් ඕම්කාරා ARC වෙත විකුණුවා.
Omkara විසින් Karaikal මණ්ඩලයට නම් කරන ලද පුද්ගලයන් දෙදෙනා වන්නේ Adani සමූහයේ හිටපු විධායක අධ්‍යක්ෂ සහ CFO අමීත් දේසායි සහ විශ්‍රාමික පන්ජාබ් කේඩර IAS නිලධාරියෙකු වන සුරේන්දර් කුමාර් ටුතේජා සහ Adani Agri Logisitcs Limited හි හිටපු අධ්‍යක්ෂවරයෙකි.
ඔවුන්ගේ නම් කිරීම අදානි පෝර්ට්ස් සහ විශේෂ ආර්ථික කලාප සමාගම විසින් කරෙයිකාල් වරාය අත්පත් කර ගැනීමට මග පෑදීමක් ලෙසත් වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘති ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සබඳතා නංවාලීම ඉලක්ක කරන අතර සිවිල් යුද්ධයේ කේන්ද්‍රස්ථානය වූ ශ්‍රී ලංකාවේ උතුරේ ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවීමද මෙහි අපේක්ෂාවයි.
මෙමගින් පැහැදිලිවම දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගමන් කිරීම පහසු කරනු ඇත, එමගින් දරුණුතම ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටින ශ්‍රී ලංකාවවේ සංචාරක ව්‍යාපාරයට සහනයක් ලබා දෙනු ඇත.

RECENT ARTICLES - SINHALA

සිරිපාල ශ්‍රීලනිපයට වැඩබලන මහලේකම් කෙනෙක් පත්කරලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙන...

ගෝඨාභයගෙන් කාදිනල් හිමිට පිළිතුරු

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති පැවති සැමරුමකදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමාට...

දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩ බලන්න අලුත් කෙනෙක්

දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ වැඩ කටයුතු ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස් මුදලිගේ මහතා පත්කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...