රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් රජය මේ වන විට අවධානය යොමු කර ඇති බවත් ජනාධිපතිවරණය පැරදුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා මැදිහත් නොවිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
පුත්තලමේදී ඊයේ (24) පැවති ජන රැළියක් අමතමින්, අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා සිටියා.
ඒ,මුදල් ඇමති ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතුව ඇති බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින්.
විවිධ ක්ෂේත්‍ර සඳහා මුදල් වෙන් කිරීම අයවැය ලේඛනයකින් හෝ පසුව ඉදිරිපත් කරන අතුරු සම්මත ගිණුමක් හරහා සිදුවන බවත් තමා රාජ්‍ය සේවක වැටුප් සඳහා මුදල් වෙන් කළ බවට රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කරන ප්‍රකාශ නිවැරදි නොවන බවත් අනුර කුමාර දිසානයක මහතා මෙහිදී සඳහන් කළා.
“ හිටපු ජනාධිපතිවරයා කියනවා ඔහු සල්ලි වෙන් කළා කියලා, හැබැයි කොතනකවත් එහෙම සල්ලි වෙන් කරලා නැහැ. තැපැල් ඡන්දෙ තිබුණෙ සැප්තැම්බර් මාසේ, 4,5,6..තුන් වෙනිදා කැබිනට් මණ්ඩලය තීන්දුවක් අරන් කිව්ව පඩි වැඩි කරනවා කියලා, හැබැයි සල්ලි වෙන් කරලා තිබුණේ නැහැ. හැබැයි වර්තමාන ආණ්ඩුව එළඹෙන මැතිවරණයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ගැන අපි අවධානය යොමු කරලා තියෙන්නේ, දැන් පැරදුනානම් ගෙදරට වෙලා ඉන්න, එක එක කොනිත්තන වැඩ නොකර ඉන්න”
නව රජය මාස තුනෙන් වැටෙයි හයෙන් වැටෙයි යනුවෙන් අදහස් පළ කරත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කිසිවෙකුට පළවා හැරිය නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කර සිටියා.