හපුතලේ හෝටලයක් තුළ ඊයේ (22) රාත්‍රීයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර තිබෙන්නේ ඔහු ඝාතන නඩුවක සාක්ෂිකරුවකු වීම නිසා යැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.
එම සිදුවීමෙන් හෝටලයේ හිමිකරු ද තුවාල ලබා ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළා.
ඝාතනය වූ පුද්ගලයා එම හෝලටයේ වසර එකහාමාරක පමණ කාලයක් තිස්සේ සේවයේ නිරතව සිටින අයෙක් බවත් ඔහු ගන්දර පදිංචිකරුවෙක් බවත් සඳහන්.
මෙම පුද්ගලයා විසින් ලබාදුන් සාක්ෂියක් මත මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් පුද්ගලයන් 06 දෙනෙක් බන්ධනාගාර ගතව සිටින බවත් එම සාක්ෂිය ලබාදීම හේතුවෙන් ඔහුට මරණීය තර්ජන එල්ලවී තිබී ඇති බවත් පොලිසිය පවසනවා.
ඒ නිසාම වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය විසින් ඔහුට පැය 24 පුරාම ආරක්ෂාවක් ලබාදීමට පොලිසියට නියෝගයක්ද කර තිබෙන බවයි සදහන් වන්නේ.
ඒ අනුව ඔහු ගන්දර රැඳී සිටින කාලය තුළ පැය 24 පුරාම පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබෙන අතර ගන්දර රැඳී සිටීම ඔහුගේ ජීවිතයට තර්ජනයක් වූ බැවින් ඔහු සැඟවුණු ජීවිතයක් පසුගිය කාලය පුරාවට ගතකර ඇති බවද වාර්තා වෙනවා.
දෙවුන්දර පෙරහර උත්සවය පැවැති දින කිහිපය තුළ මෙම පුද්ලයා නැවතත් ගන්දරට පැමිණ සිටි බවත් ඔහු දින තුනක් ගන්දර රැඳී සිට ඇති බවත් සඳහන්.
එසේ රැඳී සිටීම ජීවිතයට තර්ජනයක් බව පොලිසිය ඔහුට පැවසීම හේතුවෙන් එම පුද්ගලයා ගන්දරින් නැවතත් පිටත්ව ගිය බවත් ඔහු රැඳී සිටි කාලය තුළ පැය 24 පුරාම ආරක්ෂාවක් ලබාදීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
මෙම පුද්ගලයා ජීවිත තර්ජනය හේතුවෙන් ගන්දරින් ඈත්ව හපුතලේ කොළඹ පාරේ පිහිටි හෝටලයක සේවකයෙක් ලෙස රැඳී සිට ඇති බව පොලිසිය සඳහන් කළා.
සිව් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් හෝටලයට පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ වෙඩික්කරු සහ ඔහු සමඟ පැමිණි පිරිස සහ ඔවුන් පැමිණි වාහන පොලිසිය විසින් සොයා ගැනීමට මේවන විට උත්සාහ කරමින් සිටින බවද පැවසෙනවා.