30.3 C
Colombo
Thursday, April 25, 2024

අභියෝගයනට ලක්වන අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතීන්

- Advertisement -

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය පිළිබද කීර්තිමත් ඉතිහාසයක් ශ්‍රී ලංකාවට ඇත. ලෝකයේ සෙසු රටවල්ද අපේ අධිකරණ පද්ධතිය දෙස ගෞරවයෙන් යුතුව බැලූ උරුමයක් අපට තිබිණ.

එහෙත් කෝවිඩ් උවදුර මධ්‍යයේ කඩිමුඩියේ සම්මත කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහාවූ 20 වන සංශෝධනය මම දකින්නේ, මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය නැමැති සුදු අහස වෙලාගත් අදුරු වලාකුලක් ලෙසිනී.

ව්‍යවස්ථාදායකය,විධායකය සහ අධිකරණය යන ප්‍රධාන ආයතන පද්ධතීන් සමබරතාව නොබිදෙන ලෙස පැවතීම, එකිනෙක අනෙකා අභිබවා සීමාවන් පැන අනෙකා යටපත් නොකර හැසිරීම, රටක ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම සදහා අත්‍යවශ්‍ය වන්නේය. ඒ අතින් 20 වන සංශෝධනය සම්මත වූ දිනය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම පිළිබද ඉතිහාසයේ කළු දිනයක් ලෙස මම දකින්නෙමි.

20 වන සංශෝධනයෙන් පසු පිහිටුවා ඇති පාර්ලිමේන්තු සභාවට ඇති බලය සැබැවින්ම කණගාටුදායකය. ඉහළ අධිකරණ විනිසුරන්ගේ පත්වීම්,උසස්වීම් මෙන්ම අධිකරණ සේවා කොමිසමේ සභාපතීත්වය හිමිවන අගවිනිසුරු හැර අනෙක් සාමාජිකයන් දෙදෙනා පත්කිරීමටද, 20 වන සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයාට  අභිමත බලයක් තිබේ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා තීරණ තුළින් බැදී නැත. පාර්ලිමේන්තු සභාව වෙත ජනාධිපතිවරයා එවන නම් ගැන කරුණු ඇතුව දක්වන විරෝධතාවන් සටහන් කොටගෙන කථානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යැවුණද, ඒ කිසිදු විරෝධතාවක් ගැන ධනාත්මක සැලකිල්ලක් මෙතෙක් ලැබී නැති බැව් දැනගන්නට ඇත. එම සභාව කිසිදු බලපෑමක් කළ නොහැකි තත්ත්වයකින් නිර්මාණයවූවක් වීම පැහැදිලිය.

20 වන සංශෝධනයට පෙර අධිකරණ සේවා කොමිසමේ සභාපති හැර අනෙකුත් සාමාජිකයන් දෙදෙනා විය යුත්තේ කවුරුන්ද යන්න ගැන පැහැදිලි ව්‍යවස්ථාමය තත්ත්වයක් තිබුණී. ඉහළම අධිකරණය හැර අනෙක් අධිකරණ විනිසුරන්ගේ පත්වීම්,උසස්වීම් ආදිය පිළිබද තීරණ ගැනෙන්නේ අධිකරණ සේවා කොමිසම මගිනි. එහි සංයුතියේ දී සභාපති හැර අනෙක් සාමාජිකයන් තෝරා ගැන්ම සම්බන්ධව ජනපතිට දැන් ඇති අභිමත බලය අධිකරණයේ ස්වාධීන පැවැත්ම සම්බන්ධව බරපතල ගැටළු ඇති කළහැකි තත්ත්වයකී.

මේ අතර පසුගිය දිනෙක අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා විසින් අධිකරණ විනිසුරුවරුන්ගේ වෙත සම්මන්ත්‍රනයක් සදහා සහභාගීවන ලෙස යවා තිබූ  කැදවුම් ලිපියක් විපක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවේ සභාගතකර තිබුණී. මෙම සම්මන්ත්‍රණයට අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු බව සහ සහභාගීවීමට අපොහසත් වුවහොත් උසස්වීම්වලට,වැටුප් වැඩිවීම්වලට,විදේශ ශිෂ්‍යත්වයන්ට සහ විදේශ පුහුණුවීම්වලට කරන තෝරාගැනීම් වලදී එලෙස සහභාගී නොවීම සැලකිල්ලට ගන්නා බව අදාල ලිපියේ සදහන් කර ඇති බව අදාල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී සදහන් කර තිබුණි.

මෙම සම්මන්ත්‍රණය සහභාගීවූ විනිසුරුවරු බොහෝදෙනා අපේක්ෂාකර ඇත්තේ,මෙම සම්මන්ත්‍රණය අද රටේ පවතින කෝවිඩ් තත්ත්වය මධ්‍යයේ අධිකරණ කටයුතු පවත්වාගෙන යාම කෙසේවිය යුතුද යන්න ගැන සාකච්ඡා කිරීම සදහා වන්නක් ලෙසිනී. එහෙත් ඒ වෙනුවට අධිකරණයේ ස්වාධීනත්වයට,නීතියේ ආධිපත්‍යයට සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට බරපතල හානි ගෙනදෙන ආකාරයේ කරුණු දැක්වීම් සිදුකර තිබීම ගැන සමාජ ජාලාවල මෙන්ම මුද්‍රිත මාධ්‍යවලද සාකච්ඡාවට බදුන්වී තිබීම අපි දකින්නෙමු. මේ පිළිබදව ශ්‍රී ලංකා නීතීඥ සංගමය තම සභාපති සහ ලේකම්වරු දෙදෙනාගේම අත්සනින් යුතුව අධිකරණ සේවා කොමිසමේ සභාපතීත්වය දරණ අගවිනිසුරුතුමන් සහ එහි සාමාජිකත්වය දරන විනිසුරුතුමන්ලා අමතා ඔවුන්ගේ ගෞරවණීය අවධානය යොමුකරන ලිපියක්,අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට ද පිටපත් සහිතව යවා ඇත. මෙවන් ලිපියක් යැවීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයට බලකෙරුණු තත්ත්වය ගැන බරපතල කරුණු ඉදිරිපත් කිරීමක් එම ලිපියේ දැකිය හැක.

 අධිකරණ තීන්දු ගැනීම් ගැන බලපෑම් සිදුකරන අන්දමින් පැවැත්වූ බව සදහන් වන මෙවැනි සාකච්ඡාවන් ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ අපි කිසි දිනෙක අසා නොමැති තත්ත්වයකී.

කෙසේ වෙතත් සාමකාමී විරෝධතාවල නිරතවීම සහ රජයේ ප්‍රසාදයට හේතු නොවන ආකාරයේ වෙනස් අදහස් ප්‍රකාශ කිරීම් හේතුවෙන් අත්අඩංගුවට ගෙන දිගටම රදවා ගැන්මට පොලීසිය කළ ඉල්ලීම් අධිකරණයන්හි  කිහිපයක දී පිළි නොගෙන සිටීම සිදුව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (i)  වගන්තිය යටතේ රටේ ජනතාව භාෂණයේ නිදහස හිමිකරදී තිබෙන හෙයින්,සත්‍ය තොරතුරු මත පදනම්ව අදහස්  ප්‍රකාශ කිරීම රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට තරම් කරුණක් නොවන බවට පසුගිය දිනෙක මහේස්ත්‍රාත්වරියක විසින් අධිකරණයේ දී අවධාරණය කර තිබීම මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

මේ අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රටේ පුරවැසියන්ට සහතික කර ඇති,අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එරෙහිව අත්අඩංගුවට ගැනීම්,රදවා තබාගැනීම්,වදහිංසා පැමිණවීම් ආදියට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරන් කීපදෙනෙකු විසින්ම කර ඇති ප්‍රකාශ මෙන්ම දී ඇති තීන්දු තීරණ ගැන මාධ්‍ය මගින් දැනගන්නට ඇත.

අධිකරණයේ ස්වාධීණත්වය නැමැති අහස වෙලාගෙන ඇති 20 වන සංශෝධනය නම් වූ කළුවලාකුලු මැදින් යම් අපේක්ෂාවක් ඇති කරන රිදී රේඛාවක් ලෙස මේ තත්ත්වය මම දකින්නෙමි. 20 වන සංශෝධනයෙන් පසු අධිකරණයේ ස්වාධීන හැසිරීම ගැන පාර්ලිමේන්තුව තුළ මෙන්ම ජනතාව අතරද ඇතිව තිබෙන ප්‍රශ්නාර්ථයන් මධ්‍යයේ මහේස්ත්‍රාත් අධිකරණ වෙතින් මෙවැනි අදීන තීරණ ඇසෙන්නට ලැබීම ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීණත්වය සම්බන්ධව අභියෝග තිබුණද තවදුරටත් බලාපොරොත්තු තබාගතහැකි තත්ත්වයක් ලෙසින් මම විශ්වාස කරන්නෙමි.

ආර්ථිකය මෙන්ම කෝවිඩ් උවදුර කළමණාකරනය ඇතුළු ජනතාව මුහුණ දී ඇති අනේකවිධ දුෂ්කරතාවන්ට පිළිතුරු දී ගත නොහැකි අසමත් රජයක්,ජනතා කළකිරීම,කෝපය සහ විරෝධයට ප්‍රතිචාර දක්වන්නේ මර්දනය තුළින් බව පැහැදිලිය.

පසුගිය සති කිහිපය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රජයේ වැරදි ක්‍රියාකළපයන්ට විරෝධය දැක්වූ පෙරටුගාමී පක්ෂයේ චමීර කොස්වත්ත වැනි දේශපාලන ක්‍රියාකාරිකයන් , ජෝසප්  ස්ටාර්ලින් වැනි වෘත්තීය සමිති නායකයින්,කීර්ති රත්නායක වැනි මාධ්‍යවේදීන් වසන්ත මුදලිගේ හා අමිල සන්ධීප වැනි ශිෂ්‍ය ක්‍රියාකාරකයන් රැසක් අත්අඩංගුවට ගෙන රදවා තැබීමට රජය කටයුතු කළ අයුරු අපි දුටුවෙමු. රාජ්‍ය යාන්ත්‍රණය පිළිබද රජයේ ක්‍රියාකළාපය ගැන අදහස් දැක්වූ එම ක්ෂේත්‍රයේ විවිධ අංශ නියෝජනය කරන අයවලුන්,පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙලිදරව් කරන ලෙස හඩනගන ෂෙහාන් මාලක වැනි සමාජ මාධ්‍යජාලා

 ක්‍රියාකාරිකයන් මෙන්ම රජයේ දූෂිත සහ අසාධාරණ ක්‍රියාකළාපයන් ගැන සමාජ ජාලා මගින් නිර්භීතව අදහස් දැක්වූ තරිදු උඩුවෙගෙදර වැනි  මාධ්‍යවේදීන්

ප්‍රශ්න කිරීම්වලට සහ නොයෙකුත් ක්‍රමවලින් බියගැන්වීම් වලට ලක්කිරීමට රජය තම බලය අයුතු ලෙස පාවිච්චිකරන බව පැහැදිලිව දක්නට තිබේ.

රජයට විරුද්ධ මත දරන්නන් මෙන්ම ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් අදීනව පෙනී සිටින්නන් බිය ගැන්වීමට සහ දඩයම් කිරීමට ආරක්ෂක සේවාවන්ද යොදාගනිමින් රජය ගෙනයන අයුක්ති සහගතවූත්,ප්‍රජාතන්ත්‍ර විරෝධීවූත්  ක්‍රියා පිළිවෙත්වෙල අවසානයක් දැකිය යුතුව ඇත.

ජනතා පරමාධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීණත්වය අභියෝගයට ලක්කරන සියළු උත්සාහයන් නිශ්චිතව පරාජය කරමු. ඒ වෙනුවෙන් අපි කැපවෙමු.

– ඉම්තියාස් බාකීර් මාකාර් –
පාර්ලිමේන්තු මන්ත්‍රී

RECENT ARTICLES - SINHALA

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

යෝජිත ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එම නව පනත් කෙටුම්පත යටතේ විදුලිබල කේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ කිහිපයක්...

අවලෝකිතේෂ්වර ලෙස පෙනී සිටි පුද්ගලයාට මානසික රෝගී තත්ත්වයක්

අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් නමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට වෛද්‍ය වාර්තාවකින් හෙළි වී තිබෙනවා. ඒ ඔහුට...

ආනයනික කිරිපිටි මිල ගැන දැනුම්දීමක්

ආනයනික කිරිපිටි මිල යළිත් අඩු කිරීම සම්බන්ධයෙන් සංගමයක් ලෙස මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...