ලිංගික අපයෝජනයකට ලක් වුණු දැරියක් උපකාර ඉල්ලා ඇවිදින වීඩියෝවක් හේතුවෙන් ඉන්දියාවේ මහත් ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා.
එක් පිරිමි පුද්ගලයෙකු එම දැරිය ඔහු වෙත ළඟා වීමට උත්සහ දරන විට ඇයට ඉවත් වෙන ලෙස පවසන ආකාරය දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන සම්බන්ධයෙන් බොහෝ පුද්ගලයන් කෝපය පළ කර තිබෙනවා.
පසුගිය සතිය තුළ අන්තර්ජාලයට එක්ව තිබුණු මෙම දර්ශනවල ලේ ගලමින් සිටින බව පෙනෙන දැරියක් උපකාර ඉල්ලමින් මාර්ගයේ ඇවිද යන අයුරු දක්නට ලැබුණා.
ඉන්දීය පොලීසිය පවසන්නේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ, උජ්ජයින් නගරයේ පැය දෙකකට ආසන්න කාලයක් ඇවිදිමින් සිටි මෙම දැරියට පිරිසක් උපකාර කර ඇති බවයි.
මෙම දැරිය ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බව වෛද්‍ය වාර්තාවක් මඟින් තහවුරු කර ගෙන ඇති බවද පොලීසිය තවදුරටත් පවසා තිබෙනවා.
උජ්ජායින් පොලිස් ස්ථානය විසින් ANI ප්‍රවෘත්ති සේවය වෙත පවසා ඇත්තේ මෙම දැරිය මාර්ගයේ ඇවිදිමින් සිටින අතරතුර ඇය මුණගැසී ඇති පුද්ගලයින් පස් දෙනෙකුගෙන් ප්‍රශ්න කෙරෙමින් පවතින බවයි.
එමෙන්ම එම දැරිය, ඇය මුහුණ දුන් සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු ලබා දීමට නොහැකි තත්වයක පසුවන බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබෙනවා.
කෙසේවෙතත් දැරියගේ වයස පොලිසිය විසින් මෙතෙක් තහවුරු කරගෙන නැහැ.
මේ අතර, උජ්ජියාන් ප්‍රාන්තයේ විපක්ෂයේ දේශපාලන නායකයින් මෙම සිදුවීම හෙළා දැක තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කාන්තාවන්ගේ අරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම පිළිබඳව ඔවුන් භාරතීය ජනතා පක්ෂය (BJP) විවේචනයට ලක් කර තිබෙනවා.
කෙසේවෙතත්, ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ශිව්රාජ් සිං චෞහාන් ප්‍රකාශ කළේ මෙම සිදුවීම පිළිබඳව විමර්ශනය කොට වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කරන බවයි.