29 C
Colombo
Sunday, October 1, 2023

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් නෑ – ආරක්ෂක අමාත්‍යාංශය

- Advertisement -

ඉන්දීය රජය සමග මෑතකදී අත්සන් කරන ලද සමුද්‍රීය ආරක්ෂක ගිවිසුම් සම්බන්ධයෙන් මාධ්‍යය ඔස්සේ පළ වූ ඇතැම් වාර්තා වැරදි අර්ථකථන කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එම මාධ්‍ය වාර්තා මෙරට ජාතික ආරක්ෂාවට බාධාවක් හෝ තර්ජනයක් ලෙස දක්වා ඇති බවයි.

එම ගිවිසුම් අත්සන් කිරීමට පෙර, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු එයට අදාළ වන අනෙකුත් රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් සම්මත ක්‍රියා පටිපාටිය අනුගමනය කර ඇති බව ද ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එම ගිවිසුම් තුළින් යටිතල පහසුකම් දියුණුකිරීම සහ සංවර්ධනය සමග සබැඳි ආර්ථික සහ ආරක්ෂක වශයෙන් ප්‍රතිලාභ අත්වීම හැර වෙනත් කිසිදු ප්‍රතිලාභයක් නොමැති බවත් එයින් මෙරට ජාතික ආරක්ෂාවට කිසිදු ආකාරයක තර්ජනයක් ඇති නොවන බවත් ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එම අමාත්‍යාංශය නිකුත් කළ සම්පූර්ණය නිවේදනය පහතින්,

ඉන්දීය රජය සමඟ මෑතකදී අත්සන් කරන ලද සමුද්‍රීය ආරක්ෂක ගිවිසුම්වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට බාධාවක් හෝ තර්ජනයක් ඇති බව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය කිහිපයක් විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇත. 

පිටතින් සේවය ලබාගැනීමේදී වාර්ෂික වියදම රුපියල් මිලියන 600ක් පමණ වන නැව් අලුත්වැඩියාව වෙනුවෙන් ඉන්දියානු රජයෙන් කිසිදු වියදමකින් තොරව පාවෙන තටාකාංගන පහසුකම ලබාදීම සඳහා ක්‍රියාත්මක වූ යෝජනාව 2015 වසරේ සිට ආරම්භ වුවකි.

ඩෝනියර් නිරීක්ෂණ යානය මූලික වශයෙන් සමුද්‍රීය ආවේක්ෂණ කටයුතු, පිරික්සුම් හා ගලවා ගැනීමේ මෙහෙයුම් සහ විවිධ අවස්ථාවන්වලදී අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා යොදා ගැනේ. ශ්‍රී ලංකාව සතුව මෙම පහසුකම සහ තාක්ෂණය නොමැති හෙයින්, පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර සිදුවූ සාර්ථක ද්විපාර්ශ්වික සබඳතාවලින් පසුව, එක් ඩෝනියර් නිරීක්ෂණ යානයක් ගාස්තුවකින් තොරව ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වී ඇත.

ඒ අනුව, එම ගුවන් යානය නිෂ්පාදනය සඳහා වෙන් කර ඇති කාල සීමාව තුළ, එවැනිම ගුවන් යානයක් ඉන්දීය රජය විසින් ලබාදෙනු ලබන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන් විසින් එම යානය පියාසර කරනු ලබයි. 

ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන් සහ ගුවන් යානා නඩත්තු ශිල්පීන් මේ පිළිබද අවශ්‍ය විශේෂඥ දැනුම ලබාගන්නා තෙක් ඔවුන් පුහුණු කිරීම සඳහා ඉන්දීය පුහුණු කණ්ඩායමක් ද දිවයිනට පැමිණීමට නියමිතය.

මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස විශාල පිරිවැයක් කපා හැරීමට හැකිවන අතර, සමුද්‍රීය ආරක්‍ෂාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකිවීම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින්ට අමතර දැනුමක් ලැබීමද මෙයින් ලැබෙන අනෙකුත් ප්‍රතිලාභ වේ.

තවද, කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Maritime Rescue Coordination Centre in Colombo) සඳහා ඉන්දීය රජය වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 6 ක ප්‍රදානයක් සමග එම මධ්‍යස්ථානය පිහිටුවීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. 

විවිධ වූ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූල වීම සඳහා කලාපයේ ක්‍රියාත්මක වන විපතට පත් යාත්‍රා පිරික්සුම් හා ගලවා ගැනීමේ සේවාවන් සඳහා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට සහ ඒවායේ ආරක්ෂාව සහතික කිරීමට සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පිහිටුවීම අත්‍යවශ්‍ය කරුණක් වේ. 

ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයිනට අයත් මුහුදු කලාපය තුල වෙළඳ නෞකා සඳහා පිරික්සුම් හා ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකිරීමේ වගකීම දරණ අධිකාරිය වේ. 

තවද ජාත්‍යන්තර සමුද්‍රීය මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා නිල නියෝජිත ආයතනය වන වෙළඳ නාවික ලේකම් කාර්යාලය විසින් ඉහත කී ශ්‍රී ලංකා සෙවුම් හා පිරික්සුම් කලාපයේ සියළුම සෙවුම්, පිරික්සුම් හා ගලවාගැනීමේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පවරා ඇත. 

සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දළ වශයෙන් වර්ග කිලෝමීටර් 1,778,062.24 ක සීමාවක් සඳහා එනම්, ශ්‍රී ලංකා භූමි ප්‍රමාණය මෙන්  27 ගුණයක සීමාවක සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් සිදුකිරීමේ වගකීම දරයි. 

ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහි ප්‍රධාන කොටස්කරුවා වන අතර, තවත් සංවිධාන කිහිපයක සහයෝගයෙන්  ක්‍රියාත්මක වනු ඇත. 

මෙම ව්‍යාපෘතිය සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය ප්‍රථමයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2017 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද්දකි.  

ඉහත කී ගිවිසුම් තුන අත්සන් කිරීමට පෙර, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු එයට අදාල වන අනෙකුත් රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් සම්මත ක්‍රියා පටිපාටිය අනුගමනය කර ඇත.
 
මෙමඟින් යටිතල පහසුකම් දියුණුකිරීම සහ සංවර්ධනය සමග සබැඳි ආර්ථික සහ ආරක්ෂක වශයෙන් ප්‍රතිලාභ අත්වීම හැර, ස්වෛරී දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට කිසිදු ආකාරයක අවදානමක් හෝ තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් තහවුරු කරයි.     

RECENT ARTICLES - SINHALA

හන්තානේ ජනතාවට දිවියන්ගෙන් බලපෑම්

හන්තාන රක්ෂිතය ආශ්‍රිතව ගැවසෙන දිවියන් කිහිපදෙනෙකු ගම්වැදීම හේතුවෙන් රක්ෂිතය අවට ප්‍රදේශවල ජීවත්වන ගම්වාසින්ගේ දෛනික ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ගම්වාසින් පවසන්නේ රාත්‍රී කාලයේ ගම්වදින...

උණුවතුර බොයිලේරුවකට ඇද වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

උණුවතුර බොයිලේරුවකට ඇද වැටී ඉන්දියානු ජාතිකයෙකු ඊයේ (30) රාත්‍රියේදී මියගොස් ඇති බව වැලිපැන්න පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ වැලිපැන්න, මීගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය...

ළමා අපචාර සිදුවීම්වල වර්ධනයක්

දෛනිකව ළමා අපචාර සිදුවීම් 05 ක් පමණ වාර්තාවන තත්වයක් පවතින බව ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...